බ්ලොග් සටහන  

ජූනි 15, 2024

ආනන්ද මහ රහතන් වහන්සේ

­­­කුසිනාරාවේ උපවත්තන සල් උයනෙහි පිපි නැවුම් සුවඳැති සල් මල් කෙමෙන් ගිලිහීි වැටෙන්නට විය. ‘ලෝකය’ නම් වූ බිහිසුණු උගුලෙහි සිර ව සිටි සතුන්ට ඉන් මිදෙන මග කියා දී දෑස් පාදා දුන් සර්වඥයන් වහන්සේ පිරිනිවන් මංචකයේ සැතපී අසල වැඩ සිටි ආනන්ද තෙරුන් අමතා ප්‍රතිපත්ති පූජාවෙන් බුදු ගුණ පුදන අයුරු දේශනා කරමින් සිටි සේක. භාෂාවක් නොදන්නා යමෙකුට එම භාෂාවෙන් රචිත යමක්, එයින් ම පහදා දෙන්නේ යම් සේ ද එලෙස ම ‘අවිද්‍යාව’ නම් වූ මුලාවෙන් ගොඩ නැගුණු සිත්-සතන්වලට එහි සැබෑ තතු පෙන්වා දීම පහසු කාර්යයක් නොවුණි. මනුස්ස, දේව හෝ බ්‍රහ්ම අත්බැව් ලබා යමෙක් මේ තිස් එක් ලෝක ධාතුවේ උපත ලද්දේ ද, ඔවුන් එලෙස සුගතිගාමී වූයේ යමක් උදෙසා ද එය සාක්ෂාත් කරදීම සුගත තථාගතයන් වහන්සේගේ පරම අධිෂ්ඨානය වූ සේක.

ඒ සෑම අවස්ථාවක දී ම සෙවණැල්ලක් මෙන් ඇප උපස්ථාන කරමින් ළඟින් රැඳී සිටි ආනන්ද තෙරුන් වහන්සේ අවසන් වරටත් සුගත තථාගතයන් වහන්සේගේ සමීපයට වී දොම්නසින් වුවත් සියලු කටයුතු මැනවින් සොයා බලා ඉටු කරන්නට වූහ. සියලු දුක් ප්‍රහාණය කරන්නා වූ මාර්ගය දෙසූ ඒ බුද්ධ ගුණ කෙරෙහි ගෞරවයෙන්, සර්වඥයන් වහන්සේ පිරිනිවන් මංචකයේ සැතපී සිටින මොහොතේ ශෝකවීම සුදුසු නොවන බව වටහාගත් උන්වහන්සේ, මඳ වේලාවක් එහි රැඳී සිට ඉවතට වැඩියහ. උන්වහන්සේ අසංඛය්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමිතා පුරන ලද්දේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ධූරය දැරීමට ය. එපමණක් නොව, උන්වහන්සේ ඊටත් කල්ප ගණනාවකට ඉහත දී විවිධ අත්බැව්වල බෝසතාණන් වහන්සේට දස පාරමිතා පූර්ණය කර ගැනීමට ප්‍රත්‍ය පහසුකම් සලසා දුන් බුදු පිරිසේ ඉදිරියෙන් ම සිටි චරිතයකි. දේවධර්ම ජාතකයේ සූර්ය කුමාරයා, මණිකණ්ඨ ජාතකයේ බාල සොහොයුරා ලෙස සහ කුස ජාතකයේ ජයම්පති කුමරු ආදි වශයෙන් සහෝදර බන්ධනයෙන් බැඳී බෝසතාණන් වහන්සේට පාරමිතා පූර්ණය කිරීමට උන්වහන්සේ උපකාර කළහ. එලෙස වරෙක එක කුස උපන් සොහොයුරා, කුලුපග ම මිතුරා, ප්‍රධාන දායකයා, සේවාදායකයා, අනුශාසකයා හෝ ශිෂ්‍යයා වෙමින් සාරාසංඛය්‍ය කල්ප ලක්ෂයක් පුරාවට උන්වහන්සේ බෝසතාණන් වහන්සේ අසලින් ම රැඳී සිටියහ. එමෙන් ම එවන් අත්බැව්වල දී බෝසතාණන් වහන්සේගේ ජීවිතය බේරා ගත් අවස්ථා ගණන ද අනන්ත ය. සිවි ජාතකයේ බෝසතාණන් වහන්සේ තම දෑස් දන් දෙන විට අක්‍ෂි වෛද්‍යවරයෙකු ව ඒවා සැත්කමකින් ඉවත් කර දුන්හ. ස්වර්ණ කර්කටක ජාතකයේ බෝසතාණන් වහන්සේට නාගයෙකු දෂ්ට කොට දිවි නැසී යන විට දිවි රැක දුන් කකුළුවා වී සිටියේ ද ආනන්ද තෙරුන් වහන්සේ ම ය. එබැවින් සසර පුරාවට ම එලෙස සමීප ලෙස බැඳී ආ අතිදීර්ඝ ගමනක අවසානය  සනිටුහන් කරන මොහොතේ උන්වහන්සේ මහත් දොම්නසකට පත් වූහ. එහෙත්  සෝවාන් මාර්ග ඵලයට පත් ව ගත කළ විසිපස් වසර මුළුල්ලේ ම පිරුණු වීර්යයෙහි හෝ ප්‍රඥාවෙහි කිසිදු පසුබෑමක් උන්වහන්සේට ඇති නොවුණි. මේ සියල්ල දිවැසින් දුටු බුදුරජාණන් වහන්සේ, “ආනන්ද තෙරුන් වහන්සේ කොහිද?” යනුවෙන් රැස් ව සිටි අනෙකුත් භික්ෂූන්

වහන්සේලාගෙන් විමසූ සේක. අනතුරු ව මහා කරුණාවෙන් තමන් වහන්සේ සමීපයට කැඳවා ධර්මය දෙසමින් උන්වහන්සේ ව සැනසූ සේක.

සුගත තථාගතයාණන් වහන්සේ සියලු ගුණයන්ගේ උල්පතයි. එය එසේ වුව ද, තවකෙකුගේ ඉතා සුළු හෝ මහත් වූ හෝ ගුණයක් දුටු විට උන්වහන්සේ එය ඉතා ඉහළින් වර්ණනා කළ සේක. ශෝකයෙන් භරිත වූ සිතක් ‘ගුණය’ නම් සිහිල් දිය පොදකින් ප්‍රීති ප්‍රමෝදයට පත් කළ හැක. තථාගතයාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේගේ සිතෙහි දුක තුනී කිරීමට උන්වහන්සේ විසින් සුවච කීකරු ලෙස බුද්ධ උපස්ථානයන් කළ අයුරු එකිනෙක දක්වමින් පසසන්නට වූ සේක. දුටුවන්ගේ සිත් පහදවන ආකාරයේ සංවර, ප්‍රසන්න ඉඳුරන්ගෙන් යුත් ආනන්ද තෙරුන් වහන්සේ, තථාගතයන් වහන්සේ හමුවීමට පැමිණෙන සැම සිත් අමන්දානන්දයට පත් කළහ. ඔවුන්ගේ සුවදුක් විමසමින්, කල්‍යාණ මිත්‍රත්වය ලබා දුන්හ. මේවා ශ්‍රවණයෙන් අනතුරුව, උන්වහන්සේගේ සිතෙහි පැවති දැඩි ශෝකය මඳක් අඩු විය.

සුදුසු මොහොත එළැඹි කල අවසන් තථාගත වචනය විශ්වයට මුසු කරමින්, අඳුරෙහි ගිලී තිබූ ලොව ඒකාලෝක කළ බුද්ධ සූර්‍ය්‍යයා අස්තයට ගියේ ය. තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණ මංගල්‍යය දෙව් මිනිස් සියල්ලන්ගේ සාධුකාර මධ්‍යයේ සිදු කෙරුණි. සිව්වනක් පිරිස සහ දිව්‍ය බ්‍රහ්මාදීන් එම ආරංචිය ලද සැණින් එහි පැමිණියහ. ආනන්ද තෙරුන් වහන්සේ එම මහෝත්සවය සංවිධානය කොට සියලු දෙනාගේ ප්‍රසාදය රැකෙන පරිදි තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය වන්දනා කිරීමට අතුරු සිදුරු නොමැති ව එහි පැමිණි සියල්ලන්ට ම අවස්ථාව ලබා දුන්හ. මෙකල වන විට මහ තෙරුන් වහන්සේලාගෙන් ජීවමාන ව වැඩ සිටියේ මහා කාශ්‍යප, අනුරුද්ධ තෙරුන් වහන්සේලා ඇතුළු අල්ප සඟ පිරිසක් පමණි.

බුදුරජාණන් වහන්සේ පිරිනිවී සත් දිනක් ඉක්ම ගිය කල, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සුභද්ද නම් භික්ෂූන් වහන්සේ විසින් ප්‍රකාශිත වදන් මූලික කොටගනිමින්, සද්ධර්මය අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කරනු වස් ධර්ම සංගායනාවක් කිරීමට සූදානම් වූහ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඒ සඳහා සුදුසු ත්‍රිපිටකධර වූඋභතෝ විමුක්ත භික්ෂූන් වහන්සේලා හාරසිය අනූනමයක පිරිසක් තෝරා ගත්හ. මහත් ප්‍රඥාවන්ත වූ නමුදු ආනන්ද තෙරුන් වහන්සේ ඒ වන විටත් අරිහත් ඵලය සාක්ෂාත් කර නොතිබුණි.

එනමුදු බුදුරජාණන් වහන්සේ විසින් දේශිත සියලු ධර්මයන් ග්‍රන්ථයක ලියා තැබුවාක් මෙන් උන්වහන්සේගේ මතක ගබඩාවේ මනා කොට ගොනු කොට තිබුණි. එබැවින්, උන්වහන්සේ රහිත ව ධර්ම සංගායනාවක් කළ නොහැකි බව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දැන සිටියහ. සියලු ම භික්ෂූන් වහන්සේලා සමඟ සාකච්ඡා කොට සංඝ සම්මුතියෙන් ම උන්වහන්සේ ව තෝරා ගත් කාශ්‍යප මහ රහතන් වහන්සේ, ආනන්ද තෙරුන් වහන්සේ හමුවට ගොස් සංගායනාව පිළිබඳ ව දන්වා වීර්ය ඇති කරවා අවවාද දී වැඩියහ.

ආනන්ද තෙරුන් වහන්සේ ද උන්වහන්සේගේ අවවාදවලට එකඟව පා සිවුරු ගෙන සැවැත්නුවර ආරණ්‍ය සේනාසනයකට වැඩ වීර්ය වඩන්නට වූහ. උන්වහන්සේ දෙවෙනි දින ම සකෘදාගාමි මාර්ගයට පිළිපන්හ. කාරුණික වූ උන්වහන්සේ තම භාවනාව පසෙක ලා තථාගත පරිනිර්වාණයෙන් දුකට පත් උපාසක උපාසිකා පිරිසට ධර්ම දේශනා කරමින් සනසන්නට වූහ. මෙලෙස උන්වහන්සේගේ දින ගත වන්නට විය. එක් රාත්‍රියක එම වනයෙහි සිටි රුක්‍ෂ දේවතාවෙක්, උන්වහන්සේට ධර්ම දේශනා කිරීමට මිස රහත් ඵලය පූර්ණය කරගැනීම සඳහා කාල වේලා සොයා ගැනීමට අපහසු බව දුටුවේ ය. ඒ පිළිබඳ ව මහත් සංවේගයට පැමිණි දේවතාවා උන්වහන්සේට ගාථාවකින් අවවාද කළේ ය. නිහතමානි වූ ආනන්ද තෙරුන් වහන්සේ එම අවවාදය හිස් මුදුනින් පිළිගත්හ. සත්පුරුෂයෝ තමාගේ වරද පෙන්වා දෙන්නා නිධානයක් පෙන්වා දෙන්නෙකු මෙන් සලකති. උන්වහන්සේ නැවත ද වීර්ය වඩා භාවනාවේ යෙදෙන්නට වූ නමුදු අරිහත් ඵලය පූර්ණය කරගැනීමට අපොහොසත් වූහ. ධර්ම සංගායනාවට පෙර දිනයේ ඇතැම් භික්ෂූන් වහන්සේලා ධර්ම සංගායනාවට සහභාගී වන්නා වූ ආනන්ද තෙරුන් වහන්සේගේ ක්ෂීණාශ්‍රව භාවය පිළිබඳ ව සැක පහළ කරන්නට වූයෙන් උන්වහන්සේ වඩවඩාත් වීර්ය වඩන්නට වූහ. ඕනෑ ම සිදුවීමක දී වරද අන් කිසිවෙකුගේ යැයි දෝෂාරෝපණය කරන්නන් අතර ආනන්ද තෙරුන් වහන්සේ වරද තමාගේ යැයි සිතා එය නිවැරදි කරගැනීමට උත්සහ කළ උත්තරීතර සත්පුරුෂයෙක්හු වූහ.

එමෙන් ම ඇතැම් කල්‍යාණ මිත්‍ර භික්ෂූන් වහන්සේලා මීළඟ දිනයේ පැවැත්වීමට නියමිත ධර්ම සංගායනාවට යාමට පෙර අරිහත් ඵලය සාක්ෂාත් කළ යුතු බව සිහි ගන්වමින් ඒ සඳහා උනන්දු කළහ.

මහත් වීර්ය සම්පන්න වූ ආනන්ද තෙරුන් වහන්සේ සැඩ සුළඟ හමුවේ නොසැලෙන ඉන්ද්‍රඛීලයක් මෙන් මේ කිසිදු සිදුවීමකින් අධෛර්යමත් නොවූහ. අලුයම් කාලය වන විට උන්වහන්සේට ගුරු අවවවාදය පිළිබඳ ව සිහි විය. “ආනන්දය! ඔබ බහුල කොට කරන ලද පින් ඇත්තෙහි ය. මා වැනි බුදුවරයෙකුට කළ උපස්ථාන නිෂ්ඵල නොවේ. වීර්ය වඩා වහා නිවන පූර්ණය කරව.” උන්වහන්සේ අලුයම පහන් වන කල්හි සියලු ආශ්‍රවයන්ගෙන් මිදී ත්‍රිවිද්‍යා, ෂඩභිඥා, අෂ්ට විමෝක්ෂ සහිත අරිහත් ඵලය පූර්ණය කළහ.

ධර්ම සංගායනා කරන භික්ෂූන් වහන්සේලා උදෑසනින් ම සූදානම් ව අලංකාරවත් ලෙස සැකසූ දම්සභා මණ්ඩපයට රැස් වූහ. එකල්හි ආනන්ද තෙරුන් වහන්සේ තමන් වහන්සේට එහි වැඩීමට කාලය බව දැන, අඳුරු වලාපටලයෙන් වැසී ගොස් තිබූ චන්ද්‍රයා, ඒවා තුනී කරමින් දීප්තිමත් ව බබළමින් මතුවන්නා සේ ඍද්ධියෙන් ම විහාරයේ සිට මණ්ඩපයට වඩින්නට වූහ. ඒ තමා හුවා දැක්වීමට නොව කල්‍යාණ මිත්‍ර මහාසංඝරත්නයට ප්‍රසාදය දනවනු පිණිස ම ය. මෙම දර්ශනය දැක ආනන්ද තෙරුන් වහන්සේ අරිහත් ඵලය පූර්ණය කොට ඇති බව වටහාගත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තෙවරක් සාධුකාර දුන් අතර අනෙක් භික්ෂූන් වහන්සේලා ද උන්වහන්සේගේ ගුණ වයන්නට වූහ.

ධර්ම සංගායනාව ආරම්භ විය. ආනන්ද තෙරුන් වහන්සේ ආරාධනා ලැබ මහා කාශ්‍යප තෙරුන් වහන්සේ වැඳ අවසර ගෙන ධර්මාසනයට නැඟ, එහි වැඩ හිඳිමින් මහත් තේජසින් යුතු ව විමසන ලද සියලු සූත්‍රයන් කිසිදු අඩුවක් නොමැති ව ම විස්තර වශයෙන් සජ්ඣායනය කරන්නට වූහ. එහි ධර්මය ශ්‍රවණය කිරීමට රැස් වුණු ඇතැම් දෙවිවරු උන්වහන්සේට, තථාගත පරිනිර්වාණයෙන් අනතුරු ව බුද්ධ රාජ්‍ය දායාදයක් ලෙස ලැබී ඇති බවට වැරදි වැටහීම් ඇති කරගත්හ. ඔවුන්ගේ සිත් එක් මොහොතකින් කියවූ උන්වහන්සේ, කිසිවෙකුට ජීවිත කාලය තුළ දෙසා නිම කළ නොහැකි ගුණ සමුදායකින් යුත් තම ගුරුවරයාට සම කොට ලැබෙනා කීර්ති ප්‍රශංසා කිසිසේත් ම නො ඉවසා, වහා ම එය නිවැරදි කරමින් තමන් බුද්ධත්වයට පත් නොවූ බව ගාථාවකින් දේශනා කළහ. තමන් වහන්සේ අමාමෑණී සුගත තථාගතයාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකු පමණක් බවත්, මෙම දේශනා අසා ඉගෙන ගත් බවත් ප්‍රකාශ කළ උන්වහන්සේ සෑම දේශනාවකට ම ඉදිරියෙන් “මා විසින් මෙසේ අසන ලදි (ඒවං මේ සුතං...)” යනුවෙන් එක් කළහ.

 මෙවිට රැස් ව සිටි අනෙක් රහතන් වහන්සේලා සහ දෙව්බඹුන් උන්වහන්සේගේ එම ගුණයට පැහැදී මහත් සතුටු ව පෘථිවිතලය කම්පිත වන තරමින් සාධුකාර දුන්හ. උන්වහන්සේ අරිහත් ඵලය පූර්ණය කළේ අසූ වැනි විය ද ඉක්ම වූ පසුව ය. ශරීරය කොතරම් වියපත් වූවත් ශක්තියෙන් හීන වූවත් උන්වහන්සේ තුළ තිබූ නොසැලෙන අධිෂ්ඨානය අපහට මහත් ආදර්ශයකි. උන්වහන්සේ තවත් වසර හතළිහක කාලයක් පුරාවට ධර්ම ප්‍රචාරක වැඩකටයුතු නොනවත්වා ම ඉටු කරමින් ලෝ සතුනට දහම් දායාදය ලබාදීමට කැප වූහ. අරිහත් ඵලය පූර්ණය කිරීමෙන් අනතුරු ව තමන්ට පූජා කළ සුවහසක් පමණ සිවුරු උන්වහන්සේ දඹදිව පුරා භික්ෂූන් වහන්සේලා අතර බෙදා දුන්හ. මෙම කාලය තුළ උන්වහන්සේගේ ගුණයන් කෙරෙහි පැහැදී අසූදහසක් පමණ මිනිස්සු සුගතිගාමී වූහ. උන්වහන්සේගේ සමීපයට විත් දහම් ශ්‍රවණයට, වණපොත් කිරීමට ද බොහෝ දෙන කැමති වූ අතර එවැනි පිරිස ප්‍රමාණ කළ නොහැකි තරම් විය. ආනන්ද මහ රහතන් වහන්සේ ව ඇසුරු කළ චේතක, සුසීම, සුභද්‍ර ආදී අතවැසි භික්ෂූන් වහන්සේලා ද සාමණේර භික්ෂූන් වහන්සේලා ද යන සියල්ලෝ ම බහුශ්‍රැත වූහ.

බුද්ධ සාසනය වසර පන්දහසක් පුරාවට පැවතීමට අවශ්‍ය කරුණු සකස් කළ උන්වහන්සේ එකසියවිසි වැනි වියේ දී ආයු ගෙවී ගොස් ඇති බව දුටුවහ. රෝහිණී නදිය මධ්‍යයේ තේජෝ ධාතුවට සමවැද උන්වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. ශරීරයෙන් ම ගිනි දැල් මතුව ශ්‍රී දේහය ආදාහනය වී ධාතුන් එම නදිය දෙපසට වැටුණු අතර එහි රැස් ව සිටි පිරිස මහත් ශෝකයෙන් හඬා වැළපී ඒවා මහත් හරසරින් පිළිගෙන චෛත්‍ය කරවා පූජා සත්කාර කළෝ ය. සාරමසක් පුරාවට දඹදිවවාසීහු ආනන්ද තෙරුන් වහන්සේගේ පරිනිර්වාණය අරබයා විවිධ පුද සත්කාර සිදු කළෝ ය. 

උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර හැටකට අනතුරුව ද ‘දස අකැප වස්තූන්’ මූලික කොට ගනිමින් දෙවන සංගායනාව පැවැත්වීමට රහතන් වහන්සේලා හත්සිය නමක් සූදානම් වූහ. එහි ප්‍රධානත්වය ඉසිලූ භික්ෂූන් වහන්සේලා අට නම අතර වූ සබ්බකාමී, සාල්හ, කාකණ්ඩපුත්‍ර ආදී රහතන් වහන්සේලා ආනන්ද තෙරුන් වහන්සේ ඇසුරේ දහම උගත් ගෝල භික්ෂූන් වහන්සේලා වූහ. අරිහත් ඵලය පූර්ණය කිරීමෙන් පසුව ද කිසි විටෙකත් කායික වෙහෙස නිවා ගැනීමට හෝ ගිමන් හැරීමක් පිළිබඳ ව නොසිතූ උන්වහන්සේ අද අපගේ කල්‍යාණ මිත්‍ර මහාසංඝරත්නය පරිහරණය කරන ත්‍රිපිටකයේ චිරජීවනය උදෙසා මහත් ලෙස වෙහෙස වූහ. ඒ අයුරින් කලණ මිතුරු රැකවරණය අපහට ලබා දෙනු වස් කටයුතු කළහ. සම්බුද්ධ සාසනයේ වගකීම මීළඟ සඟ පරපුර වෙත තිළිණ කළ ආනන්ද මහ රහතන් වහන්සේ සූර්‍ය්‍යාලෝකය අහිමි වූ ලොව එළිය කරමින්, අලුයම අඳුර දුරු කරමින් රැඳී සිට, කල් යල් බලා නිවී යන ඉරබටු තරුවක් සේ බැස ගියහ. අනාථත්වයට පත් ව සිටින ලෝක සත්ත්වයා කෙරෙහි උන්වහන්සේගේ හදවතේ පැතුම මෙසේ ය.

“දසබල සේලප්පභවා

නිබ්බාන මහා සමුද්ද පරියන්තා

අට්ඨංග මග්ග සලිලා

ජිනවචන නදී චිරං වහතු”

දසබල බුදුන් නම් සෙල් මුදුනතින් මතු වූ නිවන් නම් මහ සමුදුර කෙළවර කොට ඇති සතතින් අරි අටැඟි මග සිලිලින් සිහිල් වූ නිති සුව දෙන ජින වදන් ගඟ බෝ කල් ගලා වා සව් සතන් සනහා!”

 

AMW