බ්ලොග් සටහන  

ජූලි 13, 2024

චෝදනා භාර ගන්න, ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න

CB

මණ්ඩුකයන් දුව පැන නටනා මඩ ගොහොරින් පිරි කළල් දියේ, මඩ යට සැඟවී උපත ලබමින් වුවත්, මඩ ගොහොරුව පරයා, කළල් දියේ දුර්ගන්ධය පරදා, උඩට මතු වී කටු පෙළින් යුතු කොරොස් නළින්, උඩට එසවී සුවඳත්, මෘදු බවත්, ලස්සනත් රැගෙන මඩ දියෙහි නොගෑවී මනරම් නෙළුම් මලක් ලොවට උදා වේ.

එවැනි දිය මත පිපිණු නෙළුමක් බඳු වූ, අප තථාගතයන් වහන්සේ දෙසූ ‘නිර්මල සද්ධර්මය’ බිහිවන්නට ප්‍රබල හේතුවක් වූයේ ද එම කෙලෙස් මලින් පිරි පරිසරය ම ය. ඔබ මේ සමාජයෙන් වෙන් ව හුදකලාව නිවන් දැකීමට සිතන්නේ නම් ඔබට ඔබේ කෙලෙස් හඳුනාගන්නට හැකිවන්නේ කෙසේ ද? මේ සමාජය ම ඔබේ දේව දූතයා කරගන්න තරම් ඔබ දක්‍ෂ විය යුතුයි. මෙහි දී මම ලද අත්දැකීමක් විස්තර කිරීමට කැමැත්තෙමි.

කුඩා කාලයේ දී විභාගයට පෙනී සිටින විට මාගේ සහෝදර යෙහෙළියක් මකනය ඉල්ලීය. එවිට මම එය ඉතා සද්භාවයෙන් ම දුන්නෙමි. එය දුටු අප විභාග ශාලාව භාර ගුරුතුමා සිතුවේ, මා ඇයට පිළිතුරු ලබා දුන් බවයි. නමුත් එය එසේ නොවන බව යෙහෙළිය සහ මා පවසා සිටිය ද ඔහු අප දෙදෙනාට ම චෝදනා නගමින් බැන වැදුණේ ය. මා සභාවක් මධ්‍යයේ බැණුම් ඇසූ පළමු අවස්ථාව ද එය විය. එදා මාහට නැඟුණු ලැජ්ජාව සහ වේදනාව අදටත් හොඳින් ම සිහිවන්නේ ය. එය හැඬුමකින් ම අවසන් වූ චෝදනාවක් විය. අවසානයේ දී මාහට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට පවා නොහැකි විය.

ඒ මොහොතේ දී ශාලාධිපති ව සිටි ගුරුතුමා එම විෂය භාර ගුරුතුමා ම වූ බැවින් ඔහුට අප දෙදෙනාගේ ම ප්‍රශ්න පත්‍ර නිරීක්‍ෂණය කරන මොහොතේ දී සත්‍ය අවබෝධ වී තිබුණේ ය. නමුත් ඒ වන විට සියල්ල සිදු වී හමාර ය.

එදා දහමක් ඇසුරු නොකළ ඒ හිත් රාග, ද්වේෂ, මෝහ ගිනිවලින් දැවෙන විට ලැබුණු පිළිතුරු ඇවිළෙන ගින්නට පිදුරු දමන්නාක් මෙන් විය. චෝදනාව භාරගැනීමට ලෝක සත්ත්වයාගෙන් අවවාද නොලැබුණි. තමන් නිවැරදි බව ඔප්පු කරන්නට ම උපදෙස් ලැබුණි. නමුත් මෙහි යථාර්ථය නම්, මා කළ දෙයක් ම නැවත විපාකදීමට අවැසි වටපරිසරය එදා සැකසී තිබීමයි. නමුත් එය ප්‍රඥා ඇසින් දැකීමට ඒ සිත පොහොසත් වූයේ නැත. පෙර සසරේ යම් තැනක දී කෙනෙකුගේ හිතක් මේ වගේ ම පීඩාවට, අපහාසයට, නින්දාවට ලක් කර තිබීම හේතුවෙන් මෙවැනි විපාකයකට මුහුණ දීමට සිදු විය. මුළු ශාලාවක ම සිසු සිසුවියන් සිටිය දී ඒ ගුරුතුමාට අප දෙදෙනා ම අරමුණු වී එම දර්ශනය දැකීමටත්, වංචාවක් කළා යන සිතුවිල්ල සිතේ හට ගැනීමටත් හේතු ගැළපී තිබුණි. එම ශාලාවේ ම කොපමණ පිරිසක්  පිළිතුරු හුවමාරු කරගන්නට ඇති ද? නමුත් ඒ එකක්වත් ගුරුතුමා නොදැක්කේ ඒ අය සමඟ ගනුදෙනු නොමැති නිසා ම යි. එතැන ඔබ නිවැරදිභාවය ඔප්පු කළේ මේ භවයට හිත තියාගෙනයි. අවාසනාවක තරම කෙතරම් ද සිතන්න! ඔබ ඔබේ පෙර භවයන් දුටුවා නම් “මට මෙහෙම බැනලා නතර වුණා මදි” යි කියා ඔබට සිතේවි.  එවිට ඔබ අනෙක් පාර්ශ්වයෙන් පෙරළා සමාව ගනීවි නේද?

එසේ නම් අප ලෝක සම්මතයට අනුව හරි-වැරදි කියා දේවල් බෙදා ගත්තත් හැම විපාකයක් ම සුදුසු ම විදිහට ඵළ දරයි. මේ දේවල් ගළපන්නේ සොබාදහමයි. පරිසරය ගැළපෙන විට විපාක ඵළ දෙයි. සත්‍යය එයයි. එය දහමින් දැක භාර ගත හැකි කෙනා ප්‍රඥාවන්තයෙකි.

තමන් නිවැරදි බව ඔප්පු කිරීමට ගොස් ඔබේ පීඩාව වැඩි වුණා මිසක අඩු වුණේ නැහැ නේද? හරියට ම කියනවා නම් එය ගැට ගැසුණු නූල් පන්දුවක් වගෙයි. “අන්තෝ ජටා බහි ජටා…” නිදහස් වුණු තැනක් නොමැති සේ ම සැනසීමක් ලැබුණෙත් නැහැ නේද? සැබැවින් ම කළ යුත්තේ ප්‍රශ්නයකට පිළිතුරක් ලබා දී අවශ්‍ය නම් සමාව ගෙන එතැනින් ඉවත් වීම පමණකි. ඔබ එතුළින් නිදහස් වන්නේ ඒ මොහොතෙන් පමණක් නොව සසරෙන් ම බව දකින්න. එයට හේතුව ඔබ නැවත සසරට එවැනි විපාක බීජ ජනිත නොකිරිමයි. මෙය ප්‍රඥාවෙන් ම දකිමු. තවත් එවැනි ම සත්‍ය සිදුවීමක් ඇසුරින් තවදුරටත් මෙම කාරණාව වටහා ගනිමු.

දිනක් මම නුගේගොඩ නගරයේ කිසියම් කාරණයක් සඳහා ගිය මොහොතක දී පදික වේදිකාවේ පිය නගමින් ඉදිරියට ඇදෙන්නට වුණෙමි. ඒ මොහොතේ දී නොසිතූ විලසින් මා අසලට පුද්ගලයෙකු කඩා වැද මහා ශබ්දයෙන් බැණ වදින්නට වූයේ ය. ඔහුගේ කතා විලාසයෙහි එතරම් පිළිවෙළක් නොතිබුණි. හෙතෙම තම කමිසය දෙපළු වී යන ලෙස ඉරා ගනිමින් පපුවට වැරෙන් පහරවල් ගසා ගත්තේ ය. හිස පොඩි කරමින් එහි කෙස් ගැලවෙන තරම් වේගයෙන් අදිමින් කා සමඟ හෝ තනිව ම කතා කළේ ය. වරක් කවරෙකුට හෝ පා පහරවල් ගැසුවේ ය. ඇස් ලොවි ගෙඩි දෙකක් මෙනි. කෝපය දරාගත නොහැකි ව මුළු මුහුණ ම දහඩියෙන් තෙත් වී වෙවුලුවේ ය. මොහොතක් යන්නට මත්තෙන් ඔහු පිස්සෙකු බව මම අවබෝධ කරගතිමි. මා වෙවුලන්නට වූයේ ඔහු මාහට පහර දේවි යන බියෙනි. එතැනට පැමිණි එක් මහත්මයෙක් මා සිටි අයුරු දැක, වහා මා එතැනින් මුදවා ගැනීමට කටයුතු කළේ ය. තව ද ඔහු මාහට පාර මාරුවීමට උදව් කළේ ය. ඒ යන අතරතුර දී ඔහු මට මෙලෙස පැවසුවේ ය.

අනේ නෝනා බය වුණා ද? ඌ පිස්සෙක්! දැන් සති දෙක-තුනක් තිස්සේ විතර මේ හරියේ ඉන්නවා. අපි පොලීසියටත් කිව්වා. තව ම මොකුත් වුණේ නෑ. ඔය කාත් එක්ක හරි රණ්ඩු වෙනවා. ඔහොම නටලා නටලා මහන්සි වුණා ම ඔතන ම නිදියනවා. නැගිටපු ගමන් ආයෙත් එහෙම හැසිරෙනවා. හරි නෝනා බයවෙන්න එපා! නෝනා යන්න.” මම ඔහුට ස්තූතිය පුද කළෙමි. එදා එම මර උගුලෙන් මා බේරාගත් එතුමාට පින් දුන්නත්, අද මම එම පිස්සු හැදුණ මහත්තයාටත් පින් අනුමෝදන් කරන්නෙමි. එයට හේතුව නම් ඔහු මට හමු වූ තවත් එක් දේව දූතයෙක් වීම යි.

පින්වත් ඔබ සිතන්න! ඔහුට එසේ වීමට හේතුව නම් දිනක ඔහුට නැඟුණු ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර සෙවීමට නොහැකි ව තමාට වූ චෝදනාව හෝ අකටයුත්ත භාර නොගත් නිසා ම නේද? ඔහුගේ ප්‍රශ්නය මම නොදනිමි. නමුත් ඔහුට මේ අත් වූ ඉරණමට බල පෑ හේතුව දුර දිග යන්නට ඇත. ඔහු රණ්ඩු කරන්නට සහ බැණ වදින්නට ඇත. තමන්ගේ නිවැරදි බව ඔප්පු කරන්නට ගොස් ඔහුට අවසානයේ සිදු වූයේ සිහි විකල්වීමක් ම පමණි. එය වෙනත් කෙනෙකු කළ දෙයක් නොව ඔහු කළ දෙයක් ම ඔහුට පෙරළා විපාකයට පැමිණීමකි. ඔහුට පිස්සු හැදීමට තරම් ඔහු කෙතරම් අන් අයට මානසික පීඩා දෙන්නට ඇති ද? පෙර එය ගැන අනවබෝධයෙන් කටයුතු කළ නිසා අද මොහොතක් මොහොතක් පාසා ගිනි ගනිමින් අපාය හා සමාන දුක් විඳිනවා නොවේ ද?

 ඔහුගේ මානසික ව්‍යාකූලතාවයට බල පෑ සිදුවීමේ දී චෝදනාව භාර ගෙන ඉතා සුහද ව අසන දෙයට පිළිතුරු සපයා නිදහස් වූවා නම් ඔහුත් අද මහ මග ගමන් කරන වැදගත් මහත්මයෙක් නොවේ ද? එදා ඔහු දුටුවේ තමා නිවැරදි බව පමණක් ම වන්නට ඇත. ඔහු වීරයෙක් මෙන් සාධාරණය ඉල්ලමින් සටන් වදින්නට ඇත. අද ඔහු පිස්සෙකු බවට පත් ව සිටියි. නමුත් ඔහුට දැනෙන දාහය, වේදනාව, මානසික පීඩාව ඇත්තක් ම නේද? අද ඔහුට පිළිසරණට කිසිවෙක් ම නොමැත. මේ මොහොතේ මා මේ ලිපිය ලියන විටත් ඔහු තව ම රණ්ඩු වෙනවා වන්නට පුළුවනි. නැතිනම් ඔහු මියැදෙන්නට ඇත. නමුත් ඔහුගේ කතාව වටිනා පාඩමක් මුළු ලොවට ම කියා දෙයි.

එනම් ඕනෑ ම චෝදනාවක දී එය නිහතමානී ව භාරගෙන අවශ්‍ය ම දෙයකට පමණක් කතා කරමින් අනෙකාට සැනසීම දන් දිය යුතුයි. සමහර විට අප සියයට සියයක් ම නිවැරදි වන්නට පුළුවනි. නමුත් ලෞකික ජීවිතයේ දී මෙන් ම ලෝකෝත්තර ගමනේ දී ද අප පරාජය වූයේ චෝදනාව භාර නොගෙන නිහඬ ව නොසිටි නිසා ම නොවේ ද?

එලෙස චෝදනා භාරගෙන අවශ්‍ය දෙය ම පමණක් කතා කරමින් දහමට අනුගත ව ප්‍රශ්න විසඳා නිදහස් වූ හොඳ ම ආදර්ශමත් චරිතය වූයේ අප තථාගතයන් වහන්සේයි. බුද්ධත්වයට පත් වූවාට පසුත් උන්වහන්සේට නින්දා අපහාස පැමිණීම නතර වූයේ නැත. උන්වහන්සේ ඒවා නිහඬ ව අසා සිටි සේක.

චිංචිමානවිකාව දර පොදියක් බඩ බැඳගෙන ධර්ම ශාලාව මධ්‍යයට විත් බුදුරජාණන් වහන්සේහට නින්දා අපහාස කරන විට උන්වහන්සේ අකම්පිත වූ සේක.

“නැගණිය, ඒ පිළිබඳ ව දන්නේ ඔබත් මමත් පමණි” යනුවෙන් උන්වහන්සේ කරුණාවෙන් පිළිතුරු දුන් සේක. ඒ මහා කරුණා ගුණය විශ්වයට දැරිය නොහැකි වූ නිසා ම එම දර මිටිය සභාව මැද ඇගේ කුසින් ගිලිහී වැටුණේ විශ්වයේ අවශ්‍යතාවයට ම නොවේ ද?

 මේ කාරණාවේ දී අප දැකිය යුත්තේ එවැනි සිදුවීම්වල දී කලබල නොවී හිත දහමේ පිහිටුවා චෝදනාව භාර ගත යුතුය යන්න යි. එවිට අපට රිදේවි. අපහාස සිදුවේවි. ඒ අපි පෙර කළ දෙයක් ම බව දකිමු. අසීමිත ව ඉවසීම ප්‍රගුණ කරමින් දහම තුළින් ප්‍රශ්නය විනිවිද දකින්නට උත්සාහ කරමු. චෝදනා භාරගැනීමට උන්වහන්සේ තරම් දක්ෂ උත්තමයෙක් මේ මිහිපිට තවත් නොමැත. ආලවක යක්ෂයා

මුඩු මහණ, මෙහාට එව! නැගිටපිය! හිඳ ගනිව! නැවත එළියට යව!” වැනි විවිධ විධාන ලබා දුන් වාරයක් පාසා උන්වහන්සේ අවනත වී කටයුතු කළ නිසා හෙතෙම සෝතාපන්න විය.

සුන්දරී පරිබ්‍රාජිකාවගේ මළකුණ මල් ආසනය මත සඟවා තබා කරන ලද ඒ චෝදනාව හමුවේ උන්වහන්සේ නොසැලී සිටියේ ඒ පිරිස කෙරෙහි අප්‍රමාණ මෙත්තාවෙන් යුක්ත ව ය. එසේ නම් අපට චෝදනා එල්ල වීම පිළිබඳ ව පුදුම නොවන්න. චෝදනා නො එන්නේ නම් පුදුම වෙන්න. ඒ සෑම විටක ම සාධුකාරයක් නගමින් දහම තුළින් ප්‍රශ්නයට මුහුණ දෙමු. මෙත්තාවෙන් යුතු ව අනෙකා වෙනුවෙන් අඩියක් පස්සට ගනිමින් චෝදනා භාර ගෙන, අවශ්‍ය ම දෙයට පමණක් කතා කර නිවන් මගේ ඉදිරියට පියවර තබමු.         

 

CB