බ්ලොග් සටහන  

ජූනි 22, 2024

ධම්මපදය

ඉමක් කොනක් නොමැති සසර ගඟුලේ සැරිසරන්නා වූ සත්ත්වයා අවිද්‍යා අන්ධකාරය නැමැති පඹ ගාලේ පැටළී සිටින තුරු සංසාර ගමනේ ඇති සැබෑ තතු නොදකින්නේය. විශ්වයේ කෙතරම් බුද්ධියෙන් පරතෙරට ගියා වූ උගතුන්, වියතුන් කවුරුන් සිටියත් ඔවුහු බුදු ඇස පහළවන තුරු ජාති අන්ධයෝ ම ය. මන්ද, විද්‍යාව නමැති බුද්ධ දීපය ඔවුන්ගේ චිත්ත සන්තානය තුළ දැල්වී නොමැති නිසාවෙනි. ඒ නිසාවෙන් ඔවුනට සත්‍ය නමැති මාවත විවර වී නොමැත. නමුත් මෙලොව වසනා සත්ත්වයින්ට ඕනෑ ම දෙයක් සත්‍ය යැයි සිතාගැනීමට හැකිය. එහෙත් එලෙස සිතාගත්තේ ලොව පරම සත්‍ය නම් නොවේ. මන්ද එය මනඃකල්පිත ලෝකයේ ඇති දෙයක් නිසාවෙනි. උදාහරණයක් ලෙස මනඃකල්පිත ව සිතන අයෙකුට තමන් කෙදිනකවත් මිය නොයන බව සිතා සිටීමට හැකිය. නමුත් විශ්වයේ ධර්මතාවයට අනුව ඉපදුණ සෑම පුද්ගලයෙකුට ම මරණ මංචකය උරුම වනු ඇත. නමුත් විශ්වයේ ධර්මතාවය බුදු ඇස පහළ නොවූ කිසිවෙකු නොදනියි. එහි ඇති පරම සත්‍යයෙන් සියයට සියයක් ම දන්නේ ලොව්තුරා බුදුපියාණන් වහන්සේ නමක් පමණි. ඒ පරම සත්‍ය උන්වහන්සේගෙන් අසා දැනගත්තා වූ ශ්‍රාවකයන් වහන්සේ නමක් උන්වහන්සේ අවබෝධ කරගත්තා වූ සත්‍යයෙන් අල්ප මාත්‍රයක් දනී. ඉතා සුළු පිරිසක් මේ බුදු වදන අනුගමනය කරමින් නිවන් මග පූර්ණය කරගනිති.

නමුත් සත්‍ය නොදන්නා මිනිස්සු ලෝක ධර්මතාවයක් වූ මරණයට එරෙහි ව සටනෙහි නිරතවෙති. සමහර වියත්හු තමන්ගේ ඥානය භාවිතාකර නොමැරී සිටින්නට අවශ්‍ය වූ නානා මාදිලියේ ඖෂධ සාදති. තවත් සමහරු වෙඩි නොවදින වාහන නිමවති. කෙසේ නමුත් තවත් සමහරුන් කඳු මුදුන්වලත්, හෙල් අතරත්, වෙනත් ග්‍රහලෝකවලත් තම නිවාස තනති. තවත් සමහරු දෙවොලක් ළඟ දෙවියන්ට යාඥා කරමින් මරණයෙන් ගළවා ගන්නා ලෙස ඉල්ලා සිටිති. කෙසේ වෙතත් මේ කුමන කාරණා කරත්, මරණයෙන් නම් ගැලවීමට මේ මිහිපිට කිසිවෙකුහට නොහැකිය. නමුත් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ තමන් කවුරු වුව ද, කුමන තරාතිරමක් දැරුව ද, කුමන තැනක සැඟවුණ ද මරණය නමැති

මාරයාගෙන් බේරීමට කිසිවෙකුටත් නොහැකි බවයි.

න අන්තලික්ඛේ න සමුද්දමජ්ඣේ

න පබ්බතානං විවරං පවිස්ස

න විජ්ජතී සෝ ජගතිප්පදේසෝ

යත්‍ථට්ඨිතං නප්පසහේථ මච්චු”

මෙම ගාථාව තථාගතයන් වහන්සේ, මරණයෙන් සැඟවීමට තැත් කළා වූ සුප්පබුද්ධ ශාක්‍ය රජුන් අරමුණු කරගෙන දේශනා කළ සේක.

යටගිය දවස බුදුපියාණන් වහන්සේගේ සමයෙහි සුප්පබුද්ධ නම් රජ කෙනෙක් සිටියේය. ඔහුගේ ජීවිතය ගත වූයේ මහා ගාම්භීර ලෙසය. මන්ද ශාක්‍යයන් යනු මානයෙන් ඔද වැඩී ජීවත්වන්නා වූ පිරිසක් නිසා ය. ඒ කෙසේ වෙතත් නිරන්තරයෙන් ම ඔහුගේ ජීවිතය නෘත්‍ය ගීත වාදනයන්ගෙන් අලංකාර විය. තම දෙව්දහපුර රාජධානියත්, සේනාවත්, පුතු වූ දේවදත්තත්, දියණිය වූ යසෝදරාවත් සමඟ ඔහු කල් ගත කළේය. කාලයාගේ ඇවෑමෙන් සිය දියණිය වූ යසෝදරාවට සොළොස් විය සම්පූර්ණ  වීමත් සමඟ තම සොහොයුරිය වූ මහාමායා දේවියගේ පුත් සිද්ධාර්ථ කුමරුහට සරණ බන්ධනය කර දුන්නේය. සිද්ධාර්ථ කුමරු යනු සුප්පබුද්ධ රජුගේ බෑණනුවන් වුව ද නොබෝ කාලයකින් උතුම් වූ බුද්ධත්වය සාක්ෂාත් කිරීමට සිටින්නා වූ බෝසතාණන් බව සුප්පබුද්ධ රජු දැන නොසිටියේය. කෙදිනකවත් පින් දහම් කටයුතුවල නියැලීමට හෝ විමුක්ති මාර්ගයක් සෙවීමට හෝ හෙතෙම උනන්දුවක් නොදැක්වූවේය. කාලයාගේ ඇවෑමෙන් විශ්වීය අවශ්‍යතාවය මත සිද්ධාර්ථ බෝධිසත්ත්වයෝ මහා අභිනිෂ්ක්‍රමණය කළහ. එවිට ලෝ සතුන් සාධුකාර දුන්න ද සුප්පබුද්ධ මහ රජතුමාට ඇති වූයේ වෛරයකි. මන්ද තම දියණිය වැන්දඹුවක් කළ නිසාවෙනි. ඔහුගේ ආවේගය යම් තාක් හෝ නවතා ගත හැකි වූයේ තම පුතු වූ දේවදත්ත කුමරු සිටිය බැවිනි. ටික කාලයක් ගත වුණි- සිද්ධාර්ථ කුමරුවෝ ලොව යථාර්ථය මැනවින් අවබෝධ කරගෙන උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වූහ. ටික කලකින් උන්වහන්සේගේ දර්ශනය මුළු මහත් දඹදිව පුරා ම පැතිරුණි. ඒ නිසාවෙන් තරුණ තරුණියෝ බොහෝ ගණනක් උතුම් වූ විමුක්තිය සාක්ෂාත් කරගැනීම උදෙසා සසුන්ගත විය. ටික කලකින් රජුගේ පුතණුවන් වූ දේවදත්ත කුමරුන් ද සසුන්ගත විය. රජුගේ වෛරය තව තවත් ඔද වැඩී ගියේය. එදා බෝධිසත්ත්වයන් වහන්සේට වෛර කළ ද තමා දැන් නොදැනුවත්ව ම වෛර කරනුයේ ලොව්තුරා බුදුපියාණන් වහන්සේ නමකට බව හෙතෙම නොදැන ගත්තේය.

 කාලයාගේ ඇවෑමෙන් දේවදත්ත කුමරුගේ නිවන් දැකීමේ බලාපොරොත්තුව චිත්ත සන්තානයෙන් ඉවත් වුණි. බලය නැමැති අරගලය ඔහුගේ සිත තුළට තදින් කාවැදුණි. එනිසාවෙන් දේවදත්ත තෙරුන් තථාගතයන් වහන්සේ මරා උතුම් වූ බුද්ධ රාජ්‍යය ගැනීමට වෙර දැරීය. නමුත් උන්වහන්සේට අමතක වූ එක ම කාරණාව වන්නේ බුද්ධ රාජ්‍යය යනු සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක පාරමිතා ගඟුලේ ප්‍රතිඵලයක් බවයි. ඒ නිසාවෙන් බුදුන් මැරීමට දුනුවායන් යෙදවූහ. මහ කළුගල් බුදුන්ට පෙරළුෑහ. නොයෙකුත් ආකාරයේ කෙනෙහෙළිකම් බුදුන්ට කරන්නට වූහ. මෙය සුප්පබුද්ධ මහ රජුට ද සැලවිය. නමුත් ඔහුට මෙය සැලවූයේ “ලොව්තුරා බුදුපියාණන් වහන්සේ මාගේ එක ම පුත්‍රයාට කෙනෙහෙළිකම් කරනවා” යනුවෙනි. ඔහු තේරුම් ගත් දෙය කෙතරම් සාවද්‍ය වුවත්, එම මතය ම දරමින් ලොව්තුරා බුදුපියාණන් වහන්සේට වෛර කරන්නට වූවේය. “මගේ දියණිය අනාථ කළා- මගේ එක ම පුතුට වෙනස්කම් කරනවා,” යනුවෙන් ඔහු ලොව්තුරා බුදුපියාණන් වහන්සේට අභූත චෝදනා කළේය.

කාලයක් ගත වූ පසු ව, බුදුන් තම දේශයට වඩින බව රජුට ආරංචි විය. සිත තුළ තිබුණා වූ බද්ධ වෛරය නිසාවෙන් එලෙස වඩින්නා වූ උන්වහන්සේ ව පන්නා දැමීමට සියලු කටයුතු සූදානම් කළ යුතු බවට ඔහු තීරණය කළේය. ඒ අනුව මිහිකත සනස සනසා වඩින්නා වූ බුදුපියාණන් වහන්සේගේ මග අවහිර කොට නැවත හරවා යැවීමට සියලු ම කටයුතු සූදානම් කළේය. බුදුපියාණන් වහන්සේ ප්‍රමුඛ මහාසංඝරත්නය දෙව් බඹුන්ගේ සාධුනාදය සහ දිව්‍ය ලෝකයෙන් නැගෙන්නා වූ දිව්‍ය භේරීනාදය මධ්‍යයේ දෙව්දහපුරයට පාගමනින් වැඩම කළහ. මෙසේ වැඩි ගමනේ දී මග දිගට උවැසි උවැසියෝ සාධුකාර නැගූහ. තවත් සමහරු පාවඩ ඇතිරූහ.

 කෙසේ නමුත් පිරිසක් මෙසේ කරද්දී රජතුමා බුදුන් වඩිනා මග අවහිර කරමින් සුරාමතින් බෙර දවුල් වයමින් සිටියේය. මේ අතර බුදුපියාණන් වහන්සේ ප්‍රමුඛ මහාසංඝරත්නය කෙමෙන් දෙව්දහපුරට ළඟා වූහ. බුදුපියාණන් වහන්සේ අකම්පිත වී නැවත ආදෙසට ම වැඩම කළ සේක. රජතුමා ජය ඝෝෂා නැගුවේය. දෙවිවරු, බ්‍රහ්මවරු සහ මිනිස්සු ශෝක වූහ. ඔහු ලොව්තුරා බුදු කෙනෙකුගේ මග අවහිර කළේ ය. තථාගතයන් වහන්සේ මේ සම්බන්ධයෙන් කුමක් පවසන්නේ ද යන්න සොයා බැලීම සඳහා හෙතෙම චරපුරුෂයන්  කිහිප දෙනෙකු  යැව්වේය.

තථාගතයන් වහන්සේ මද දුරක් ගොස් සිනා පහළ කළ සේක. ආනන්ද හිමියෝ “ලොව්තුරා අමා ශාන්ති නායකයන් වහන්ස, ඔබවහන්සේ කුමක් නිසා සිනහ පහළ කළේ ද?” යනුවෙන් බුදුපියාණන් වහන්සේගෙන් විමසූහ. එවිට උන්වහන්සේ “පින්වත් ආනන්ද, තව දින හතකින් සුප්පබුද්ධ මහ රජතුමා අවීථි මහා නරකාදියට ඔහුගේ

මාළිගාවේ ඇති පියගැටපෙළ ළඟ දී ඇද වැටෙන්නේ ය,” යනුවෙන් දේශනා කළ සේක. චරපුරුෂයෝ වහා ම එය රජුට සැළ කළෝය.

රජු බුදු වදනට බිය වූවේය. ඔහු දින හතක් පුරාවට මරණයෙන් බේරී සිටීමට සැලසුම් සකස් කළේ ය. වහා ම පිය ගැට පෙළ කඩා ඉවත් කළේ ය. සත්මහල් පායට නැග සියලු කෑම බීම ගෙන්වා ගත්තේ ය. ආරක්‍ෂාව සඳහා යෝධයන් අනුයුක්ත කරගත්තේය. ඔහු සත්මහල් පායේ ඉහළ ම මහලෙහි සිරියහන් ගැබක සිටියේය. කිසි ම හේතුවකට තමාට බිමට බැසීමට ඉඩ නොදෙන ලෙස ආඥා නිකුත් කළේය. කාලය ගෙවී ගියේය. දින හයක් ගත විය. හයවන දිනය ගෙවී යාමත් සමඟ මඟුල් ඇතු කෑ මොර දී කුංචනාද කරන්නට විය. රජ මාළිගාව තුළ කිසිවකුටත් එය සන්සිඳීමට නොහැකි විය. රජුට දින හතකින් අවීථියට යාමට නියමිත වගක් අමතක විය. ඔහු ඇතු දමනය කිරීමට පහළට බැසීමට තීරණය කළේය. කුමන කර්තව්‍යයකට සත්මහල් මාළිගාවේ උඩුමහලට වී සිටින්නේ දැයි ඔහුට මොහොතකට අමතක විය. ආරක්‍ෂාවට දමා සිටි යෝධයෝ උමතු වූහ. ඔවුන් ද රජතුමාට විරුද්ධ විය. කඩා ඉවත් කළ පියගැට පෙළ නැවත මතු විය. විශ්වයේ විපාක ශක්තියෙන්, තිබුණු ලෙස ම, අලංකාරවත් ලෙස එය යුක්ත විය. උමතු වූ යෝධයෝ රජුගේ බෙල්ලෙන් අල්ලා පහළට හෙළුෑහ. ඔහු පියගැට පෙළ පාමුල වැටී මරණයට පත් ව, අවීථි මහා නරකාදියෙහි උපත ලැබුවේය.

සුප්පබුද්ධ රජතුමාට තම ඉරණම වෙනස් කරගැනීමට නොහැකි විය. ඔහු මරු වසඟයට ගියේය. කප්පරකට අපවාද උපවාද කරගෙන අවීථියේ ගිනිදැල් මතට යන්නට ඔහුට සිදුවිය. ඒ කෙසේ වෙතත් ඔහුගේ ලෙයින් මසින් උපන්නා වූ එක ම දියණිය වූ යසෝදරා මහෝත්තමාවිය දහසක් මරුන් පරදවා උතුම් වූ අරිහත් ඵලය සාක්‍ෂාත් කර ගත්හ. 

අවිද්‍යා තෘෂ්ණාවෙන් මිරිකී ගිය මිනිසුන්හට මරු පැරදීමට නොහැකිය. මහාසංඝරත්නයේ රැකවරණයෙන්, අවිද්‍යා තෘෂ්ණා නමැති කෙලෙස් සතුරන් පරාජය නොකළහොත් සියල්ලෝ ම බාල, මහලු කුමන තරාතිරමකින් සිටියේ ද මරු වසඟයට ම යන්නාහ. 

 

DP513