ජූලි 06, 2024
“පව් කරන්නාට පව් කරන කාලයෙහි එය මී පැණි මෙන් මිහිරි ය. එහෙත් ඒවායෙහි විපාක විඳීමට සිදුවන කල්හි ගිනි මෙන් දැඩි දුක් ගෙන දෙන්නේ ය. එබැවින් එම පව් දුරු කරන්නා වූ උපදේශය දැන; සිත, කය සහ වචනය යන තිදොරින් පාපයට අවකාශ නොදිය යුතු ම ය” යන්න ඉහත කවියෙන් අරුත් දේ.
අනන්ත සසරක් පුරාවට පැවති පුරුද්ද නිසා ම සත්ත්වයාගේ සිත පවට නිරායාසයෙන් ම නැඹුරු වන්නේ ය. එමෙන් ම පාප ක්‍රියා සිදුකිරීම මිහිරක් මෙන් සත්ත්වයාට දැනුණ ද කරන ලද පව්, ඵල නොදෙන තාක් එම අනුවණ පුද්ගලයා ඒවා මී පැණි මෙන් සිතයි. තව ද අඥානයා තමන් කරන පව් නිසා අත්වන කටුක විපාක කෙසේ වෙත් ද යන්න නොදනියි. එහෙත් ඒවා ඵල දෙන කලට විඳින්නට වන කායික, මානසික වේදනාවන්ගෙන් ඔහු දැවෙයි.
යමෙකු විසින් සිදු කළ කර්මවලට අදාළ ව විපාක ඵල දීම ලොව පොදු ධර්මතාවයකි. නිතර නිතර රාග, ද්වේෂ සහ මෝහ සිත් ඇති ව යමෙක් ක්‍රියා කරයි නම් හෙතෙම මරණින් මතු ඊට අදාළ ගති පරිසරයක් ඇසුරු වන ආකාරයට උත්පත්තිය ලබයි. තිස් එක් ලෝක ධාතුව තුළ ඉහළ පහළ සැරිසරන අප දිව්‍ය, බ්‍රහ්ම, මනුස්ස, අමනුස්ස ලෙස වෙන් වන්නේ එසේ ය. අයෙකු අනිකෙකුහට නිතර නිතර දුක් පීඩාගෙන දෙන්නේ ද, වධ හිංසා පමුණුවන්නේ ද විපාක ඵල දෙන පොදු ධර්මතාවයට අනුකූලව ම ය. එවැනි ජීවිතයක් ගත කෙරෙන අයුරින් විපාක පරිසරය මෙසේ ගොඩ නැඟෙන්නේ ඔහු විසින් සිදු කළා වූ කර්ම ශක්තිය හේතු කොට ගෙන ය.
තිදොර නම් සිත, කය සහ වචනය යන්නයි. මේවා සංවර කර නොගතහොත් පෘථග්ජන සිතෙහි නිරතුරුව ම කෙලෙස් වැඩෙන සිතුවිලි, ක්‍රියා සහ වදන් බලපවත්වයි. එසේ හෙයින් මනා සිහියෙන් යුතු ව මේවා රැක ගැනීම මනුසත් බව ලද අපගේ මූලික වගකීමකි. තමන් විසින් කරන ලද පව් ඵල දීම කෙබඳු ද යත්; බුදුන් වහන්සේට මෙන් ම අරිහතුන් වහන්සේලාට පවා පෙර සසරේ කරන ලද පව් විපාක ගෙන දී ඇත. සියලු කෙලෙසුන් නසා සත්‍යාවබෝධයට පත් ව සිටියේ වුව ද, ගොනා පසු පස නොනැවතී ගමන් ගන්නා කරත්ත රෝදය මෙන් අනන්ත සසරක් පුරා සිදු වූ කර්මවල විපාක තමා පසු පස පැමිණෙන්නේ ය.
සුගත තථාගතයන් වහන්සේට ද තදබල හිසේ කැක්කුම, ගල් පතුරකට සිරිපතුල තුවාල වීම, ලෝහිත පක්ඛන්දිකා රෝගය වැළඳීම, තෙමසක් පුරා යවහාල් වැළඳීමට සිදුවීම ආදි විපාක පරිසර හටගැනුණේ පෙර කරන ලද පව්කම් හේතුවෙනි. තවදුරටත් පව්කම් ඵල දීම කෙසේ ද යන්න අරිහතුන් වහන්සේලාගේ කථා වස්තු ඇසුරින් දැක්විය හැකි ය.
ඍද්ධිමත් භික්ෂූන් වහන්සේලා අතරින් අගතැන්පත් වූ මුගලන් මහ රහතන් වහන්සේගේ කතා පුවතින් මේ පිළිබඳ ව විමසා බලමු.
ඍද්ධිමත් භික්ෂූන් අතරින් අගතැන්පත් වුවත් මුගලන් මහ රහතන් වහන්සේගේ පිරිනිවීම සිදු වූයේ ශරීරයේ අස්ථි පවා කුඩා කැබලිවලට කුඩු වී යන තරම් සොරු පන්සියයකගෙන් ලැබුණු පොලු මුගුරු පහරවලින් බව අපි අසා ඇත්තෙමු. පෙර ඈත අත්බැවෙක තම බිරිඳගේ බහට අවනත ව, උන්වහන්සේ තම මව හා පියා යන දෙදෙනා ම මරා දැමූහ. ඔවුන් අන්ධ බැවින්, සොරුන් පිරිසක් පහර දෙන බව අඟවමින් උන්වහන්සේ එසේ සිදු කළහ.
එය ආනන්තරීය පාප කර්මයක් වූ නිසාවෙන් බොහෝ කාලයක් අවීථි මහා නරකයේ දුක් විඳින්නට හේතු සැකසුණි. එම සිත් පරම්පරාවට අත්බැව් සියයක් ම ඒ ආකාරයට තැළුම් කා මරණයට පත් වන්නට සිදු විය. හිසේ කැක්කුම බලවත් වී මහත් දුක් විඳින්නට සිදු විය. එසේ ම දුක සේ උපයා ගත් වස්තුව අහිමි වූයේ ය. අත් පා කැපීම් ආදි වූ දුක්වලට ලක් විය. කුෂ්ඨ රෝග වැනි වූ අසාධ්‍ය රෝගවලින් පීඩා විඳින්නට සිදු විය. වී, සහල් ආදිය තිබූ ගෙයක විසුවේ නම් ඒ සියල්ල බොල් විය. රත්රන් ඇති තැනක විසුවේ නම් ඒවා සියල්ල අඟුරු විය. තව ද, තමන් වාසය කළ නිවෙස් අවුරුද්දකට දෙතුන් වතාවක් ගිනි ගෙන විනාශ වන්නට විය. මේ ආකාරයේ වද වේදනා විඳ, නිවන් දකිනා අන්තිම අත්බැවයේ දී ද අරිහත් ඵලය පූර් ණය කර සිටියේ වුව ද, ඍද්ධිමතුන් අතර අගතැන්පත් වූයේ වුව ද ශරීරයේ ඇටකටු පවා කුඩු වන තරමට සොරුන්ගෙන් පහර කා පිරිනිවෙන්නට සිදු විය. ඉදින් කරන කලට පව් කෙතරම් මිහිරි වුව ද, ඒවායෙහි විපාක වාරය පැමිණි කල දැඩි ලෙස විඳීමට සිදු වන දුක් ගින්දර එතරම් අමිහිරි ය.
තවදුරටත් සසර කෙළවර කරන අත්බැව්හි රෝගයකින් බලවත් ලෙස පීඩා විඳි පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේගේ කථාව පිළිබඳ ව ද විමසා බලමු.
සැවැත්නුවර විසූ එක් කුල පුත්‍රයෙක් බුදුන් දෙසූ බණ අසා තිස්ස තෙරුන් වහන්සේ නමින් පැවිදි උපසම්පදා විය. උන්වහන්සේගේ ශරීරයේ ප්‍රතිකාර කර සුවකළ නොහැකි කුෂ්ඨ රෝගයක් ඇති විය. මුලින් අබ ඇට තරම් කුඩා කුෂ්ඨ ඇති වී ක්‍රමක්‍රමයෙන් ඒවා මුං ඇට, මෑ ඇට සහ අවසන බෙලි ගෙඩි තරම් විශාල ව ඒවායෙහි සැරව පිරී, පිපිරීමෙන් මුළු සිරුර ම වණයක් විය. මේ හේතුවෙන් උන්වහන්සේ පූතිගත්තතිස්ස නම් විය. ඇප උපස්ථාන කිරීමට පවා කිසිවෙකුටත් ළඟා විය නොහැකි තරමට මුළු ශරීරය ම සැරවවලින් හා ලේවලින් තෙත් විය.
බුදු ඇසින් ලොව බලන තථාගතයන් වහන්සේට මෙම තෙරුන් වහන්සේ ව දර්ශනය වූ සේක. උන්වහන්සේ පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේ වෙත වැඩම කොට, සියතින් ම සාත්තු සප්පායම් කර අවසානයේ දහම් අවබෝධය පිණිස සදහම් දේශනා කළ සේක. එය අවසන පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේ අරිහත්ඵලය පූර්ණය කරමින් පිරිනිවන් පෑ සේක.
එතරම් බලවත් රෝගයක් හටගැන්මටත් අවසානයේ අරිහත්ඵලය සාක්ෂාත් කිරීමටත් හේතු උන්වහන්සේ මෙසේ වදාළ සේක. පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේ කාශ්‍යප බුදුපියාණන් වහන්සේගේ කාලයේ වැද්දෙක් ලෙස වැදි කුලයක ඉපදුණි. මොනරුන්, කුකුළන් ආදි වූ කුරුල්ලන් මරා ඔහු ජීවිකාව කරගෙන ගියේ ය. කුරුල්ලන් බොහොමයක් ගොදුරු කර ගත් දිනයන්හි දී කොටසක් විකුණා, ඉතිරි වූ කොටස අසල්වැසියන්ට බෙදා දුන්නේ ය. ඊටත් පසු ඉතිරි වූ කුරුල්ලන්ට පියඹා යෑමට නොහැකි වන සේ තටු කපා, පාදවල ඇට කඩා පසු ව විකිණීමට කටයුතු සිදු කළේ ය.
දිනක් ඔහුගේ නිවසට අරිහතුන් වහන්සේ නමක් පිණ්ඩපාතය පිණිස වැඩියහ. මරන ලද කුරුල්ලන්ගෙන් සෑදු මස් ව්‍යඤ්ජනයක් නිවසේ පිළියෙළ වී තිබුණි. තමා විසින් පෙර බොහෝ පව් සිදු කර ඇති බව වටහා ගත් ඔහු “නුඹ වහන්සේ ලත් නිවන් රස මෙම මස් පූජාවෙහි මුඛ්‍ය විපාකයෙන් මටත් වේවා!”යි පතමින් අරිහතුන් වහන්සේට මස් සමඟ දානය පූජා කළේ ය. උන්වහන්සේ ද “එය එසේ ම වේවා!”යි ආශීර්වාද කළ සේක.
පෙර කල කුරුල්ලන්ගේ ඇට කටු බිඳ දමා, තටු කපා වධ දුන් පාපයෙහි ආදීනව ලෙස මෙකල උන්වහන්සේගේ ශරීරය කුණුවීමත්, අරිහතුන් වහන්සේ නමකට දානය පූජා කළ පිනෙහි ආනිසංස හේතුවෙන් නිවන් සුව අත් කරගැනීමත් යන විපාක ස්වභාවයන් පටිසන්ධියට ගැළපුණේ ය.
තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් ඇප උපස්ථාන ලබමින් උතුම් අරිහත් ඵලයෙහි පිහිටීමට තරම්, අරිහතුන් වහන්සේ වෙත පිදූ දානය ආනිසංස ගෙන දුන්නේ ය. එහෙත් පෙර කළ පාපය උන්වහන්සේ අත නොහැර ම පසුපසින් පැමිණියේ “විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ” යන කාරණාව තව තවත් සනාථ කරමින් ය.
ලෝක සත්ත්වයෝ ආස්වාදය නැමැති මර උගුලට හසු වී මේ ඝෝරතර සසරේ ඉහළ පහළ ගමන් කරමින් සිටිති. ඔවුහු මේ සසර සිර කඳවුරේ සිර ව සිටිති. සසර භය දකිමින් සියලු ලෝ සතුන්ගේ යහපත උදෙසා සාරාසංඛය්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් සත්‍ය අවබෝධ කොට ගෞතම අප මහා මුනීන්ද්‍රයන් වහන්සේ සම්බුද්ධ රාජ්‍ය සාක්ෂාත් කර ගත් සේක. බුදුරජාණන් වහන්සේ නමකට පමණක් පහළ වන්නා වූ ස්වයංභූත ඥාන දර්ශනයෙන් උන්වහන්සේ ලෝක ධර් මතාවය අවබෝධ කර ගත් සේක. නිච්ච, සුඛ, අත්ත ලෙස ලෝකයේ එල්බ ගෙන සිටින සත්ත්වයාට ලොව ඇති සදාතනික ධර් මය වන අනිච්ච, දුක්ඛ, අනත්ත යන ත්‍රිලක්ෂණය දේශනා කළ සේක.
පව් දුරු කරමින් සසර භව කතර නිමා කරලන්නට නම් බුදුන් දෙසා වදාළා වූ මෙම ලෝක ධර්මතාවය අවබෝධ කොට ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපන් විය යුතු ම ය.
එසේ නම් මනුලොව ඉපදී සිටින අප කෙලෙස් මලින් යුතු වූ සිත වීතරාගී, වීතදෝෂී, වීතමෝහී බවට පත් කරලීම උදෙසා අප තථාගතයන් වහන්සේගේ අඩි පාරේ අඩියට අඩිය තබමින් විමුක්තිය සාක්ෂාත් කර ගත යුතු නොවේ ද? ඒ සඳහා “ඇඳින එපව් දුරලන උපදේසේ - නුදුන මැනවි තුන් දොර අවකාසේ” යන පද ගැළපුමට අනුව කටයුතු කළ යුතු ය. එබැවින් අපි ද පින් වපුරුවා ගනිමින් සිත, කය සහ වචනය යන තිදොර ධර් මානුකූල ව සංවර කරගනිමින් ත්‍රිවිධ රත්නයේ අපරිමිත ගුණ අප තුළ වඩා වර්ධනය කර ගනිමින් තම විමුක්තිය සාක්ෂාත් කර ගැනීමට අධිෂ්ඨාන කරමු.