බ්ලොග් සටහන  

ජූනි 29, 2024

කරුණා දයාවක් හිතේ තියෙනවද

ඔය දරුවත් අරන් මගේ දෑහැට නොපෙනී පලයං යන්න!”

මට ඩිවෝස් එක දෙන්න. මං දරුවත් අරන් යන්නම්. මෙච්චර කල් මං ඉවසුවා. මගේ කිරිසප්පයාගේ ඇඟට අත තියපු වෙලේ ඉඳන් මට ඔයත් එක්ක ජීවත් වෙන්න බෑ. මගේ ජීවිතේ අපායක් වුණත්, ඔයත් එක්ක හිටියේ දරුවට තාත්තෙක් ඕන නිසා. ඒත් දැන් දරුවට තාත්තෙක් ඕන නෑ කියලා ඔයා පෙන්නුවා. දරුවගෙ ජීවිතෙත් අපායක් වෙන්න දෙන්න බෑ. කරුණාකරලා මට ඩිවෝස් එක දෙන්න විදුර!”

ගෙදරට වෙලා කකා බිබී ඉන්න තොට ඩිවෝස් එක විතරයි මදි, චටාහ්...”

සිතෙහි රැඳි කරුණා දයාව පෑළ දොරින් පැනගිය කල මෘග වෙස්ගත් විදුරගෙන් වැරෙන් වැදුණු කම්මුල් පහරත් සමඟ බිම ඇද වැටුණු අහිංසාගේ නළලින් ලේ ගැලීමට වූයෙන් ඇය, රෝහල් ගත කෙරුණි.

අහිංසා’ යනු, නමට ම අරුතක් ගෙන දුන් ධනවත් පන්තියේ සුන්දර යුවතියකි. අධ්‍යාපනයට මහත් දස්කම් පෑ ඇය විශ්ව විද්‍යාලයේ දක්ෂතම සිසුවිය බවට පත් වූ හෙයින්, එහි ම කථිකාචාරිණියක් බවට පත් වූවා ය. පසු ව ඇය දෙමාපිය යෝජනාවක් මත සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වූ විදුර සමඟ අතිනත ගත්තේ සියල්ලන් ම සතුටු සාගරයක ගිල්වමිනි. මොවුන්ගේ විවාහ දිවියට නව අරුතක් එක් කරමින් ‘විහස්’ මෙලොව එළිය දුටු අතර, ඒ සමඟ ම අහිංසා කාර්යබහුල වූවා ය. මෙතෙක් කල් තමාට ම පමණක් උරුම වූ විදුරගේ ආදරය තව රුවක් ළඟ නතර වූයෙන් ඔහුගේ ජීවිතය ඔෆිස් එකට ම සින්න විය.

පීඩිත වූ සිතට හරි වැරැද්ද නොදැනෙන හෙයින්, අහිංසා කිරිකැටියා සමඟ දරදඬුකම් මැද තනි වූයේ සුළි කුණාටුවකට හසු වූ පියාපත් අහිමි කිරිල්ලියක මෙනි. කිසිදු විටෙක දෙමාපියන්ගෙන් පහර නොලත් සුකුමාල ගතට පහර පිට පහර වදිද්දී, කඳුළු කැටවලට නුහුරු නිල් දෙනයන කඳුළින් බොඳ වූයේ, ආස්වාදයෙන් මුලාවට පත් වූ විදුර සැබෑ සතුට කුමක්දැයි නිවැරදි ව නොදත් බැවිනි. හිසේ කැක්කුමට කොට්ටය මාරු කරන්නාක් මෙන් සිතේ ගින්නට ලෝකයෙන් පිළිතුරු සෙවූ විදුර, තම සතුටට එක ම බාධකය ‘අහිංසා’ ලෙස දැනුණු සෑම විට ම මෙම කැදැල්ල හරහා සුළි සුළං හමන්නට විය. එනමුදු විවාහ දිවිය තව දුරටත් පවත්වාගෙන යාමට අහිංසා කටයුතු කළේ තම කිරිකැටියාට පිය සෙනෙහස ද අවශ්‍ය බව ඇයට දැනුණු බැවිනි.

කාලය ක්‍රමක්‍රමයෙන් ගත වන්නට විය. මේ වන විට අහිංසාගේත්, විදුරගේත් සිඟිත්තා වූ විහස් ඉහළ පෙළේ ජාත්‍යන්තර පාසලක පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටියේ ය. සිය පියාගේ දරදඬුකම් ඒ සිතට උරුම නොවූයේ විදුර නිවසට ඒමට පෙර අහිංසා ඔහු ව නිදි දෙව්දුවට භාර කරවන බැවිනි. මෙදින ද දරුවා වේලාසනින් නින්දට ගිය මුත් විදුරගේ උච්ච වූ කට හඬ ඇසී අවදි ව, පියා සමඟ හුරතල් වීමට කාමරයෙන් පිටතට පැමිණි ඔහුගේ නෙත ගැටුණේ, තම ආදරණීය මවගේ කෙස් වැටියෙන් ඇදගෙන පහර පිට පහර දෙන, යක්ෂයෙකු මෙන් රෞද්‍ර මිනිසෙකි. මෙය දුටු ඔහු බයෙන් බිරාන්ත වී විලාප නගන්නට වූ හෙයින්, යුද්ධය එතැනින් නිමා විය. එතැන් සිට දරුවා ද ක්‍රමක්‍රමයෙන් පියාගෙන් දුරස් වන්නට වූයේ, තම මවත් සමඟ තිබුණු බැඳීම තව තවත් වර්ධනය කරමිනි. තම පුතු තමාගෙන් දුරස් වූ බව දැනුණු විදුර තව තවත් මුරණ්ඩු වූ අතර, කොළයකට පමණක් ම සීමා වුණු විවාහයෙන් වෙන් වීමට අදහස් කළේ ය.

අහිංසා හිස පැළී රෝහල් ගත ව සිටි කාලයේ තම පුතුගේ කටයුතු විදුරට කරන්නට සිදු වූ බැවින්, ඇයගේ වටිනාකම මදක් ඔහුට දැනෙන්නට විය. ඇතැම් අවස්ථාවල දී වරදකාරී හැඟීමක් දැනෙන විට එයින් මිදීමට ඔහු තවදුරටත් අනියම් පෙම වූ නිසලිට ළං වූයේ තම දරුවා වූ විහස් සුවිසල් මන්දිරය තුළ තනි කරවමිනි. නිවසේ සේවය කරන සිරිමා සමඟ තනි වන විහස්, තම පියතුමා පැමිණි විගස සතුටින් ඉපිලී හුරතල් වීමට ගිය ද ඔහුට හිමි වූයේ සැර පරුෂ වචන පමණක් ම විය. කිහිප දිනකට පසු අහිංසා සුවය ලබා නිවසට පැමිණි අතර, විදුර නැවතත් සුපුරුදු ජීවන රටාවට ම යොමු වූයේ ඔහු තුළ වූ පීඩාකාරී බව ඇය හරහා පිට කරමිනි. මෙලෙස නිරතුරු ව සිතේ ගින්නට ලෝකයෙන් විසඳුම් සොයන විදුර, තම සතුටට බාධා වේ යැයි හැඟෙන සියල්ල ඉවත් කිරීමට උත්සාහ දැරුවේ ය. එයට හේතුව ඔහු ‘සැබෑ සතුට’ පිළිබඳ ව නොදැන සිටීම යි.

එදින විශේෂ දිනයකි. වැසිබර කාලගුණයක් තිබුණ ද, තම ජීප් රියට නැඟුණු විදුර ඔෆිස් යාමට පිටත් වූයේ නිවසේ රැඳී සිටීමට ඔහු බෙහෙවින් අප්‍රිය කළ බැවිනි. මද දුරක් ගමන් කළ ඔහු, වාහනයේ වූ කාර්මික දෝෂයක් නිසා එය අලුත්වැඩියාවට යොමු කොට, ටැක්සියක නැඟී ගමන් අරඹන්නට වූයේ ය. මේ වන විට වර්ෂාව සම්පූර්ණයෙන් ම නැවතී සූර්යකිරණ මහ පොළොව සිප ගනිමින් තිබුණි. විදුරගේ සිතට අප්‍රමාණ සුවයක් දැනෙන්නට වූයේ, කුලී රථය තුළ හඬ දුන් දහම් දේශනාව ඔහුගේ දෙසවන මත පතිත වූ බැවිනි. සුළු මොහොතකින් කුලී රථය ඔෆිස් එක ඉදිරියේ නතර වූයෙන්, ඔහුගේ දෙසවන දේශනාවෙන් මිදුණි. වාහනයෙන් බැස යාමට ප්‍රථමයෙන්  ඔහු රියදුරු මහතාගෙන් දුරකථන අංකය ලබා ගත්තේ, පසු ව කථා කිරීමට අවස්ථාවක් ද ඉල්ලමිනි.

ඔෆිස් එකේ දොර විවර කිරීමත් සමඟ ම ඔහුගේ අනියම් පෙම්වතිය වූ නිසලි සිනහවකින් මුව සරසාගෙන ඉදිරියට පැමිණියේ තමා සමඟ දොඩමළු වීමට බැව් තේරුම්ගත් විදුර, ඇයට මඳ සිනහවකින් පමණක් සංග්‍රහ කොට තම කාමරයට විත් දොර වසා දැමුවේ ය. කිසිවෙකුවත් මුණගැසීමට ඔහුගේ සිත ප්‍රිය නොකළේ ය. තම මේසය මත තබා තිබුණු කෝපි කෝප්පය අතට ගත් ඔහු, ජනේලය අසල වූ සුවපහසු අසුනේ හිඳ සුළු මොහොතකට පෙර ශ්‍රවණය කරන ලද දේශනාවේ කරුණු එකින් එක තම ජීවිත කතාව හා සම්බන්ධ කිරීමට උත්සාහ කළේ ය. තමා කුඩා කල දෙමාපියන් මධ්‍යයේ හැදී වැඩුණු අයුරුත්, රිය අනතුරකින් ඔවුන් මිය ගිය අයුරුත්, ඉන් පසු ව තමා තනිව ම දියුණු වූ අයුරුත් ඔහුට සිහිපත් විය. අහිංසා තම ජීවිතයට පැමිණීමෙන් අනතුරු ව සිදු වූ සිදුවීම් මාලාව ද ඔහුට සිහිපත් විය. ඒ තුළින් සසර ගනුදෙනුවල ස්වභාවය ඔහුට තේරුම් යන්නට විය. අවසානයේ දී කුලී රථයේ රියදුරු මහතාට දුරකථන ඇමතුමක් ලබා ගෙන ඔහු ව මුණගැසීමට දිනයක් සහ වෙලාවක් වෙන් කර ගත්තේ ය. නියමිත දින අදාළ වෙලාවටත් පෙර, ඔහු අදාළ ස්ථානයට ළඟා වී සිටියේ ය.

තෙරුවන් සරණයි මහත්තයා! මාව මුණගැහෙන්න ඕන කිව්වේ?”

තෙරුවන් සරණයි අයියේ! මට අයියත් එක්ක ටිකක් කථා කරන්න ඕන. අයියා අර එදා අහපු දේශනාව මොකක් ද අයියේ? කවුද ඒ දේශනාව කරන ස්වාමීන් වහන්සේ?”

ආ... ඒක ද මහත්තයෝ... ඒ මිනිස් ජීවිතය කියන්නේ ගනුදෙනු පියවීමක් විතරක් ම බව වගේ ම, ඒ ඔක්කොගෙන් ම නිදහස් වෙන්න පුළුවන් නිවන් දැකලා විතරයි කියලා කියන දේශනාවක්. උන්වහන්සේ හොරණ ඉංගිරියේ තියෙන ආරාමයක වැඩ සිටින ස්වාමීන් වහන්සේ නමක් කියලා තමයි කියන්නේ. උන්වහන්සේට පින් සිද්ධ වෙන්න තමයි මහත්තයෝ මං අද සතුටින් ජීවත් වෙන්නේ.”

ඒ කිව්වේ අයියෙ?”

“මහත්තයා, මං ඔබතුමාට විස්තරේ කියන්නම්. මං ඉස්සර ගොඩාක් වෙනස් කෙනෙක්. ඉස්සර මම රස්සාව කළේ පෞද්ගලික ආයතනයක. මමයි නුවනියි; ඒ කියන්නේ මගෙ බිරිඳයි ප්‍රේම සම්බන්ධතාවයකින් විවාහ වෙලා සතුටින් හිටියා අපේ පුතා ලැබෙනකල්. පස්සේ නෝනා පුතාගේ වැඩ එක්ක ම කාර්යයබහුල වුණු නිසා එයාට මාව මඟ හැරුණා. ඒ කාලේ මට තේරුණේ නෑ මහත්තයා හිතේ පීඩාවට ලෝකෙන් උත්තර හොයලා වැඩක් නෑ කියලා. ඒක හින්දා නුවනිගෙන් නැති වුණ ආදරය හොයාගෙන මං සනුති ගාවට ගියා ලෝකෙන් සතුට හොයා ගෙන. ඒකෙන් වුණේ ප්‍රශ්න තව වැඩි වුණු එක විතරයි මහත්තයා. සනුතියි මායි එක ම තැන රස්සාව කරපු හින්දා අපි වෙන් වුණේ රෑට විතරයි. ටික කාලයක් යද්දි මේ සම්බන්ධය නුවනිට ආරංචි වුණා. නුවනි ඒක මගෙන් ඇහුව වෙලේ ඉඳන් මං ගෙදර හිටියොත් හැම තිස්සේ ම අපි රණ්ඩු වුණා. මං පුදුමාකාර විදියට එයාට අකටයුතුකම් කළා. ඔන්න ඔහොම කාලෙක තමයි අපේ සර් ඔෆිස් එකට ස්වාමීන් වහන්සේ නමක් වඩමවලා දේශනාවක් කෙරෙව්වේ. මමයි සනුතියි එදා ඔෆිස් එකට නොයා ඉන්න කටයුතු කළත්, සර් දේශනාවට සම්බන්ධ වෙන එක අනිවාර්ය කරපු නිසා ඒකට යන්න සිද්ධ වුණා. සර්ට පින් සිද්ධ වෙන්න දේශනාවට වාඩි වුණු මනුස්සයාට වඩා වෙනස් ම මනුස්සයෙක් එතැනින් නැගිට්ටේ. එදා මං කෙළින් ම ගියේ ගෙදරට. මං දොර ඇරගෙන ඇතුළට යද්දී නෝනා භය වුණා. මං මොකද කියලා ඇහුව ම නෝනා මට කුස්සියට කතා කරලා කිව්වේ “දරුවා තාම නිදි නෑ. ඒක හින්දා කෑ ගහන්න එපා” කියලා. ඒ වෙලාවේ ම මං එයත් එක්ක සේරම කියලා නිදහස් වෙලා සමාව අරගත්තා. පස්සෙ මං ඒ රස්සාවෙන් අස්වෙලා මේක පටන් අරන් දහමත් එක්ක සතුටින් ජීවත් වෙනවා මහත්තයා.”

එය තමන්ගේ ජීවිත කතාවට සමාන එකක් වූ බැවින්, රියදුරු මහතාගේ වෙනසට බලපෑ දේශනාවේ සංක්‍ෂිප්තය දැනගැනීමට විදුරට අවශ්‍ය විය.

අයියේ... එදා ඒ ස්වාමීන් වහන්සේ දේශනා කළේ මොනව ද?”

මහත්තයා මට උන්වහන්සේගේ දේශනාව ඒ විදියට ම නම් මතක නෑ. හැබැයි, මතක ටික මගේ වචනයෙන් කියන්නම්. අපි හිතාගෙන ඉන්නවා නේද සල්ලි ටිකක් වැඩියෙන් තියෙන අය හරි උසස්, එහෙම නැති දුප්පත් අය හරි පහත් කියලා? මං මහත්තයාගෙන් ප්‍රශ්නයක් අහන්නම්. කෙනෙක් එදා වේල හම්බ කරගෙන, තමන්ට පුළුවන් උපරිමයෙන් පින් දහම් කරගෙන, තමන්ගේ පිරිසට වගේ ම, අනිත් අයටත් සමාන ව සලකගෙන, කාටවත් හිංසා නොකර ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා සුඛෝපභෝගී ජීවිතයක් ගත කළත්, දුසිල්වත් විදියට ජීවත් වෙන. මේ දෙන්නගෙන් ඇත්තට ම උසස් කවුද මහත්තයෝ?”

අර දුප්පත් මනුස්සයනේ අයියේ”

හරි මං තව ප්‍රශ්නයක් අහන්නම්. අර දුප්පත් කෙනා මැරුණට පස්සේ නිකම් ලී පෙට්ටියක දාලා වළදානවා. එතකොට අර පොහොසත් මනුස්සයා ව රත්තරන් පෙට්ටියක දාලා වළදානවා. මහත්තයා හිතන්නේ මේ දෙන්නගෙන් කවුරු සුගතියකට යයි කියල ද?”

අයියෝ අයියේ, ඒක අහන්නත් දෙයක් ද? අර දුප්පත් කෙනා තමයි සුගතියට යන්නේ.”

අන්න හරි මහත්තයා! එදා ස්වාමීන් වහන්සේ දේශනාවේ දී ඒක ඔප්පු කළා. ඉන්නකම් පහත් වැඩ කරලා, මැරුණට පස්සේ මොනවා කළත් වැඩක් නෑ. ඉන්න කල් කරපු දේවල්වල හැටියට තමයි අනාගතය තීරණය වෙන්නේ කියන කාරණාව හොඳට හිතලා බලන්න මහත්තයා. අපි ලෝකෙ සතුට හොයාගෙන, එක එක ඒවා පස්සෙන් යනකොට, ඒවට බාධා එනවා වගේ කියලා හිතෙනකොට, අපි මොකද කරන්නේ? හොඳින් හෝ නරකින් ඒවා අයින් කරනවා නේද? දැන් උදාහරණයක් විදියට මගේ ජීවිත කතාව ම ගමුකෝ. සනුතිට ළං වෙන්න තිබුණ එක ම බාධකය කියලා මට හිතුණේ නුවනි. නුවනි ඒක දැනගනී කියලා මුලින් ම භයෙන් හිටිය නිසා මම එයාට වෙනස්කම් කළා. එයා ඒක දැනගත්තට පස්සේ, මම එයා ව තව තවත් දුකට පත් කළා. හිතලා බලන්න මහත්තයා, මං වෙනුවෙන් කැප වෙන මගේ ආදරණීයයන් ව මට මග ඇරුණා. මගේ ම ලෙයින් ඉපදුණු දරුව ව දවස පුරා ම රැක බලාගෙන, මං වෙනුවෙන් කරන්න තියෙන හැමදේම පුළුවන් උපරිමයෙන් ම කරලා දුන්න නුවනිට මං ගහපු, බැනපු දවසක් නැති තරම්. ඒ කියන්නේ මහත්තයා, තමන්ගේ මන-දොළ පුරවා ගන්න ගිහින් අන් පිරිස ව අප්‍රමාණ හිංගි-හිංසාවට ලක් කළා. මෙන්න මෙහෙම අයට සත්පුරුෂයන් වහන්සේලා කියන්නේ ‘වසලයෝ’ කියලා. මහත්තයාට මතක ඇති ‘වසල සූත්‍රය.’ ඔන්න ඔය සූත්‍රයේ එනවා,

එකජං වා දවිජං වාපි 

යොධ පාණානි හිංසති

යසස පාණෙ දයා නත්‍ථි

තං ජඤඤා වසලො ඉති”

කියලා ගාථාවක්. ඔන්න ඔය ගාථාවේ කියන්නෙත් ඒ ගැන ම තමයි. ඒකේ තව දේශනා කරලා තියෙන දෙයක් තමයි, මේ වසල ගතිත් එක්ක ජීවත් වෙනවා කියන්නෙ ම සතර අපාය උරුම කරගෙන ඉවරයි කියන එක. ඒක ඇත්තමයි මහත්තයා. වසල ගතියට යහගුණයක් ගෝචර වෙන්නේ නෑ. ඒක මං කියන්නේ අත්දැකීමෙන්. සතුට ලැබෙන්නේ සනුතිගෙන් කියලා හිතලා එයා ළඟට ළං වෙලා පීඩාවෙන් නිදහස් වෙන්න කරපු හැම දෙයකින් ම වුණේ පණ වගේ රැකගෙන ආපු පන්සිල් පද එකින් එක කැඩෙන්න පටන් ගත්ත එක. දස අකුසලයට ම හිත යොමු වුණා. ඇත්තට ම මං එදා මැරුණා නම් ගිනි අපායේ ඉපදෙනවා අනිත් අයට ගිනි දීපු පාප කර්මයට. ඉතින් මේ දහම මෙච්චර මට වටින්නේ ඇයි කියලා මහත්තයට හිතාගන්න පුළුවන් ඇති නේද?”

මොවුන්ගේ දහම් සාකච්ඡාවට කාලය හරස් වූ බැවින් එය නවත්වන්නට සිදු විය. රියදුරු මහතාගෙන් අදාළ දේශනාව ඉල්ලා ගත් විදුර, හැකි ඉක්මනින් නිවසට පැමිණියේ ය. ඔහු මෙතෙක් කල් තමාගෙන් සිදු වූ සියලු වැරදි පාපොච්චාරණය කරමින් අහිංසාගෙන් සමාව ගත්තේ ය. මේ වෙනස දරා ගත නොහැකි වූ ඇගේ දෙකොපුල් සතුටු කඳුළින් නැහැවෙන්නට විය. ඒත් සමඟ ම ඇය නිවස තුළ හඬ දුන් දේශනාවට සවන් යොමු කිරීමට දෙවරක් නොසිතුවේ, ඒ දහම සත්‍යයක් බව විදුරගෙන් ම ඔප්පු වූ බැවිනි.

නිරන්තරයෙන් දහමත් සමඟ ම කටයුතු කළ විදුරගේත්, අහිංසාගේත් ජීවිත සතුටින් ඉතිරෙද්දී, ඔහු තම කිරිකැටියාගෙන් ද සමාව ගත්තේ විහස් ද පුදුමයට පත් කරවමිනි. ඒත් සමඟ ම පවුල තුළ වූ කුණාටු තත්ත්වය පහ ව ගොස් වසන්තය උදා වූ අතර, මෙලෙස සෞභාග්‍යයක් ගෙන දුන් කුලී රථ රියදුරු මහතාට කළගුණ සැලකීමට ද විදුර අමතක නොකළේ ය. කුලී රථ රියදුරු ඉහළ වැටුපක් සහිත ව තම රියදුරු ලෙස පත් කර ගත් ඔහු, ඔවුන්ගේ පවුල ම තම නිවස අසල ම නිවසක් තනවා ගෙන්වා ගත්තේ, කලණ මිතුරු ඇසුරක වටිනාකම මනා ව දත් නිසා ම ය. රියදුරු මහතාගේ පුතු වූ පහන් ද තම පුතු අධ්‍යාපනය ලබන පාසලට ම යොමු කළ හෙතෙම, එම දරුවාගේ ද සියලු වියදම් දැරුවේ තම පුතු ද වසලයෙක් වනු දැකීම අප්‍රිය කළ නිසාවෙනි.

වසල ගතිවලට නතු ව තම ජීවිතය ම මිහිපිට අපායක් කරගෙන සිටි විදුරට; දහමත්, කලණ මිතුරු ඇසුරත් හේතුවෙන් සුවෙන් සහ සතුටින් පිරි දිවියක් ගත කිරීමට ලැබුණේ සතර අපායේ ගිනිදැල් සදහට ම නිවා දමමිනි.

(මෙහි සඳහන් නම් ගම් සියල්ල මන:කල්පිත ය.)

 

Wasalaya