බ්ලොග් සටහන  

ජූනි 01, 2024

ඉස්තෝප්පුව

ඔබට අද නුහුරු විය හැකි නමුත් අපේ ‘සීහෙළයා’ තම නිවනට තෝතැන්නක් කරගත් ‘ඉස්තෝප්පුවේ කථාව’ පිළිබඳ ව අපි අද විමසා බලමු. අතීතයේ සීහෙළයන් ආසන්නයෙන් ම ඇසුරු කළේ ආර්ය මහාසංඝරත්නය යි. එයින් අදහස් වන්නේ ඔවුන් සත්‍යයෙන් සත්‍යය ගළපා තම සිත, කය සහ වචනය හැසිර වූ බව යි. එහෙයින් ‘ඉස්තෝප්පුව’ ඔවුන්ගේ නිවනට හේතු වූයේ කෙසේ දැයි අපි සොයා බලමු.

ඈත අතීතයේ මිනිසුන් වැඩියෙන් ම ගමන් කළේ පා ගමනින් බව අප දන්නා කරුණකි. එසේ ගමනාගමනයට දෙපය භාවිතයත් සමඟ ඔවුන්ගේ යහපත් සෞඛ්‍යයට ධනාත්මක බලපෑමක් ඇති විය. කඩපිළට ගිය ද, බෙහෙතක්-හේතක් ගැනීමට ගිය ද, මේ සෑම අවස්ථාවක දී ම තම නිවහනට යන අතරතුර අසල්වැසියාගේ නිවසට ද පිවිසී සුව-දුක් විමසා බැලීමට ඔවුන් අමතක කළේ නැත. ඒ නිසා ම එදා ආරක්ෂාව උදෙසා නිවහන ඉදිරිපිට තිබුණේ වැට කඩුල්ලක් ම පමණි. රාත්‍රියට හැර සෑම වෙලාවක ම, බොහෝ විට මෙහි එක් කඩුල්ලක් පහතට හෙළා තිබුණේ සියලු දෙනාට ම ඕනෑ ම වෙලාවක පිවිසෙන්නට අවසර ඇති බව පෙන්වා දෙන්නට ය.

අද දවස මෙන් එදා සමාජය තුළ, කොටුකරගත් තාප්ප සහිත තට්ටු ගණනට ගොඩනැගුණු මහල් නිවෙස් තිබුණේ නැත. 

අතීතයේ දෙතුන් දෙනෙක් හෝ මේ ඉස්තෝප්පුවට වී ගිමන් හැරියහ. පැන් පානය කළහ. සුදුසු වෙලාවක් නම් ආහාර ද අනුභව කළහ. පැන් කෝප්පයක් සමඟ ආහාර වේලක් සපයා දීමෙන් සීහෙළයන් අතර සහයෝගීතාවය තව තවත් වර්ධනය විය. දුරස්ථ බව පරයා සැවොම එකමුතු හැඟීමෙන් බලගැන්වී පැවතිණි. එකමුතුකම පසෙකලා ආත්මාර්ථකාමීත්වය සිත් තුළ රජයන්නට ගත් කල, මේ සහසම්බන්ධතාවය අකා-මකා යන්නට විය. අද සමාජයේ මිනිස්සු එදාට වඩා බොහෝ සෙයින් වෙනස් වී ඇත්තෝය. ඒ නිසා ම “තමන් පමණක් තම කාරණා දැන ගත යුතුය” යන මතයට කොටු ව ඔවුහු අද බොහො ම දුක් සහගත බවින් සිටිති. එය කෙතරම් ද කිවහොත් නිවසක හදිසි මරණයක් සිදු වී, එහෙත් එහි අවසන් කටයුතු නිමාවන තෙක් අවට නිවැසියන් නොදැනුවත් වන තරමට ම ඔවුන් එකිනෙකාගෙන් දුරස් වී ඇත.

නමුත් එදා සිහෙළුන් මේ ‘ඉස්තෝප්පුව’ යන අංගය තම නිවහනේ ම කොටසක් කරගත්තේ, තව හිතක් නිවා සනසන්නට කන දන් දීමට කදිම අවස්ථාවක් ලෙස ය. එතරම් කැප කිරීමක් භෞතික ව සිදු කිරීමට තරම් ඔවුන්ගේ 

කතා-බහ, අදහස් සහ සිතුවිලි කෙලෙස වන්නට ඇත් ද? සැබැවින් ම එය අර්ථවත් කථාවක්, එනම් සත්‍යයෙන් සත්‍යය ගළපා කළ කථාවක් ම වන්නට ඇත. 

මෙලෙස නිවහනට එකතු වුණු ඉස්තෝප්පුව නිසා ම එහි ආ ගිය, ගිමන් හැරලන්නට වූ පිරිස බොහොම විශ්වාසයෙන් සහ සමගියෙන් එකිනෙකා ව ඇසුරු කරන්නට ඇති බව නිසැක ය. මුව පුරා රැඳි ළෙන්ගතු සිනහවෙන් කාටත් එක ලෙස සැලකූ සීහෙළයා, එදා ඉස්තෝප්පුවේ දී දහසක් සිත් ගිනි නිවන්නට ඇත. අධික විඩාවෙන් සිටින මොහොතක අපට ආසනයක් පනවන කල, කයට පමණක් කෙතරම් නම් පහසුවක් දැනෙන්නේ ද? එයත් සමඟ සිත ද නිවන කතා-බහක් සිදුවන විට කෙතරම් එම අන්‍යෝන්‍ය සබඳතාවය වැඩි වන්නට ඇති ද? මුදල් අග-හිඟකමක් හෝ කෑම-බීමක අඩුපාඩුවක් ඔවුන් අතර නොතිබෙන්නට ඇත. සෑම මොහොතක ම දස කුසලය වඩන, දස පුණ්‍ය ක්‍රියාවලට නැඹුරු වුණු මානසිකත්වයක් ඔවුනට තිබුණි. එය සත්‍යයක් බව තරයේ ඔප්පු කිරීමට මේ ඉදි ව තිබුණු ඉස්තෝප්පුව ම කදිම සාක්ෂියකි. තමන් ව වෙන් කොට ගත් මානසිකත්වය රජයන අදවන් දිනක කෙනෙක් එලෙස කටයුතු නොකරති. එහෙත් ජීවත් වීමේ පහසුව තකා ඉදිකරන නිවහනෙහි වෙන ම කොටසක් ශ්‍රමය සහ මුදල් වැයකොට අන් පිරිස උදෙසා සකසන්නට තරම් ඒ සිත් නැමෙන්නට කෙතරම් පින පිළිබඳ ව අවබෝධයක් ඔවුන් සතු වන්නට ඇත් ද?

කායික ව මෙන් ම මානසික ව ඇවිළෙන ගින්න නිවාලන්නට රුකුල් දෙන මෙම අංගය සහිත නිවැසියන්, “දුන්නොත් ලැබෙනවා, දෙන දෙය ම ලැබෙනවා” යන න්‍යායට අනුව කෙතරම් සාමය සහ සමගිය භුක්ති විඳිමින් අවිදු අඳුර නසන ගමනේ ගමන් කරන්නට ඇත් ද? එසේ නම් ‘ඉස්තෝප්පුව’ යනු සැබැවින් ම ගත් කල නිවන් මගට අවතීර්ණ වීමට ඉනිමගක් නොවන්නේ ද? එහෙව් නිර්මාණයක් ලොවට දායාද කිරීමට තරම් අප සීහෙළයා දහම පිළිබඳ ව කෙතරම් අවබෝධයෙන් යුතු ව කටයුතු කරන්නෙක් වන්නට ඇත් ද?


අද අපගේ නිවහනෙහි ඉස්තෝප්පුවක් නොතිබෙන්නට පුළුවන. නමුත් අප අන් සැමට කන දන් දෙන අයෙකු අපි තුළ පිහිටුවා ගනිමු. එනම් යම් කෙනෙක් පීඩාවකින් සිටින විට, ඒ තැනැත්තා කෙරෙහි මෙත්තා සහගත ව, ස්පොන්ජ් එකක් ලෙසින් එය තමන්ට උරා ගත හැකි මානසිකත්වයක් ගොඩ නගා ගනිමු. එවිට ඔබේ සිත ද අන්‍ය ලෝක සත්ත්වයාට හෙළ ගතිය බෝ කිරීමට සමත් ඉස්තෝප්පුවක් වනු නො අනුමාන ය.

135770567 3926544134052163 5665280822129928420 N