ජූනි 08, 2024
සිත යනු පුදුමාකාර මැවීමකි. මනුස්ස ජීවිතය ලද ඔබ මේ සිත ගැන අධ්‍යයනය කිරීම ඉතා ම වැදගත් වන්නේ, ඔබ සිත පිළිබඳව ලබා ගන්නා මනා අවබෝධය තරම් ඔබට යහපත පිණිස පවතින වෙනත් අවබෝධයක් නොමැති නිසාය.
ලෝකයේ මිනිසුන් වර්ග හතරකට බෙදා වෙන් කළ හැක. එක් පිරිසක් සිරුරේ පහළ කොටස් පිළිබඳ ව බොහෝ උනන්දුවක්, ආසාවක් දක්වති. එනම් පස් වැනි කාමයට අදාළ ව ඇසුරු කෙරෙන කොටස් සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වනවා සේ ම, ඒවා ඇසුරු කිරීමට ඇති බලාපොරොත්තුවෙන් ම ජීවත් වෙති. තවත් පිරිසක් කයේ කොටස් වර්ධනය කරගැනීමේ සහ ඒවා ලෝකයාට පෙන්වමින් සතුටුවීමේ මූලික අවශ්‍යතාවයකින් පෙළෙති. තවත් පිරිසක් වැඩිපුර මොළය සම්බන්ධ කරුණු කාරණා ඇසුරේ සිටිති. චින්තන හැකියාව ඉහළින් ම පිහිටන මොවුන්ගේ මූලික අවශ්‍යතාවය ලෝකයේ කාලයෙන් කාලයට මතුවන ගැටළුකාරී තත්ත්වවලට විසඳුම් ලබාදීමෙන් තෘප්තිමත් වීමට උත්සාහ දැරීමයි. විවිධාකාර තාක්‍ෂණික මෙවලම් සහ තාක්‍ෂණික විසඳුම් ලෝකයට බිහිවන්නේ ද මේ පිරිස් තුළින් වේ.
ඉහත කිසි ම ආකාරයකින් ඒ කිසි ම පිරිසකට තමන්ගේ දුකට පිළියමක් නොලැබී ඇති බවට හොඳ ම සාක්‍ෂිය ඔවුන් ම වේ. ලෝකයේ ලොකු ම ධනවතා අද සිටින්නේ දැවැන්ත බිත්ති හතරකට කොටු වී, දඩ බල්ලන් කිහිපදෙනෙක් මැදි කරගෙනය. ඒ අයට මෙසේ කිරීමට සිදු වී ඇති හේතු පිළිබඳ ව ඔබ සිතා බැලුවේ ද? නැතිනම් ඔබට සිතුණේ, විශාල තාප්ප සහ ඉබ්බන් සහිත ගේට්ටු යනු සතුටට කාරණාවක් ලෙස ද? එම නිවසේ security system එක පිළිබඳ ව swimming pool එක පිළිබඳ ව සහ theater system එක පිළිබඳ ව මිනිසුන් ඉහළින් කතා කළ ද, ඒ අයට මේ සියල්ල ම පැවැත්වීමට සිදු වී ඇති බව ඔබට වැටහෙන්නේ ද? එම දේවල් එසේ නොකර සිටීමට නොහැකි බව ඔබට වැටහෙනවා ද? ඔබ ඇසුරු කරන දේවල් තමන් ළඟ නොමැති ව මොහොතක්වත් ජීවත් විය නොහැකි වන තරමට ඒවායේ අතකොළුවක් වී ඇති බව ඔබට වැටහෙනවා නොවෙද? ඒවායේ සිදුවන සුළු වෙනසක් හෝ ඔවුනට දැරීමට හැකි ද? එසේ නම් ඔවුහු නිදහස් මිනිසුන් වේද?
සිව්වන පිරිස ලෝකයේ දුර්ලභ කොටසකි. ඒ අයට ඉහත සඳහන් කිසි ම කරුණක් පිළිබඳ ව කිසි ම අවශ්‍යතාවයක් නොමැත. ඔවුන්ගේ සම්පූර්ණ අවධානය යොමු වී ඇත්තේ සිත සම්බන්ධවයි. දියුණු මානසික තත්ත්වයක් ඇතිකර ගැනීම උදෙසා අවශ්‍ය ආකල්ප සංවර්ධනය, මානව සුභවාදී චින්තන ක්‍රම අත්හදා බැලීම, පරීක්‍ෂණ කිරීම්, ඒ සම්බන්ධ ව අධ්‍යයනය කිරීම හා අධ්‍යයනය කළ කරුණු සහ අත්දැකීම් ලෝකයට ප්‍රචලිත කිරීම මේ පිරිසගේ මූලික අවශ්‍යතාවය වී තිබේ.
ඔබට රූප පෙනෙයි, ශබ්ද ඇසෙයි, ගන්ධ, ස්පර්ශ හා රස දැනෙයි, දේවල් දැනගැනීම නොහොත් සිතීම සිදුවෙයි. මුළු ලෝකය ම මේ ආකාරයෙන් විස්තර විග්‍රහ කළ හැකි අතර, මීට පරිබාහිර ආකාරයක් ඔබේ ලෝකයේ නොපවතී. ලෝකය ඔබට හැඟෙන්නේ මේ ලෙසට වුවත්, ඉන් ඔබ්බට ගිය කාරණාවක් ඔබේ සිතට දැනෙන්නෙහි ද? එසේ නම් අපි අද මේ ලිපිය තුළින් එය කුමක් දැයි වටහා ගැනීමට උත්සාහ දරමු. දැන් අපි ඉහත ආකාර එකින් එක විස්තර විග්‍රහ කොට බලමු.
ඔබ දැන් අතේ තබාගෙන සිටින සඟරාව ඔබට පෙනෙන්නේ කෙසේ ද? ඇස නොමැති නම් එය දැකීමට හැකි වේ ද? එසේ නම් එම රූපය දැකීමට ඇස හේතු වුණා නේද? පෙනීම උදෙසා ඇසක් ලොවට පහළ වන්නේ හේතු අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක් ගැළපී බැඳීමෙනි. එනම් ‘ඇස’ යනු; රුධිර නාල, ස්නායු සහ අක්‍ෂි පේශි ආදි වශයෙන් එකකට එකක් හේතු ගැළපීමෙන් විද්‍යමානවන සමූහයකි. ඔබ ඉදිරියේ ඇති රූපය ද එලෙස ම හේතු අනුව සැකසුණු සැකැස්මකි. උදාහරණයක් ලෙස, ඔබ සඟරාව ලෙස හඳුන්වන්නේ කඩදාසි සමූහයක එකතුවකි. නැතිනම් ඔබ ‘සඟරාව’ ලෙස ස්පර්ශ කරන්නේ මොනවා ද? කඩදාසි නිපදවන කර්මාන්ත ශාලාවකට ගියහොත් එය ක්‍රියාවලියක් බව අපට වැටහේ. පිදුරු, ලී කුඩු වැනි දැව කොටස් සමඟ විවිධ වූ රසායනික ද්‍රව්‍ය අදාළ උෂ්ණත්වයන් යටතේ මිශ්‍රවීමෙන් කඩදාසි ලෝකයට බිහි වේ. කඩදාසි යනු එකක් ද? නැති නම්, විවිධ ද්‍රව්‍ය ඒ ඒ උෂ්ණත්වයන්ට භාජනය වී බිහිවුණු සැකැස්මක් ද? එය සමූහයක් නොවේ ද? හේතු සමූහයක එකතුව හෙවත් ‘ඵලයක’ රඳා පැවැත්ම ඇත්තේ ඊට අදාළ වූ හේතුන් මත ම ය. එසේ නම්, ‘රූපය’ යනු හේතු සමුදායක් මත රඳා පවතින්නකි. ඇස යන ඵලය රඳා පවතින්නේ ද, එයට අදාළ හේතු මත යි. එසේ නම් ඇස.රූපය ගැටීමෙන් ලෝකයට උදා වෙන පෙනීම ද හේතු සමුදායක බලපෑමක් විය යුතු අතර, එය ද රඳා පවතින්නේ ඊට අදාළ හේතු මත ම නොවේ ද? එසේ නම්, ඇස ඔබගේ පාලනයෙන් තොර වේ. ඇස සහ රූපය ගැටීමෙන් උදාවන පෙනීම ද, ඔබගේ පාලනයෙන් තොර වේ. මෙලෙස ම, දැනගැනීම නොහොත් හඳුනා ගැනීම ද ඔබගේ පාලනයෙන් තොර වූවකි. ඔබ ඉදිරියේ ඇති රූපය දෙස බලා එය හඳුනා නොගෙන ඔබට සිටිය හැකි ද? මෙලෙසට ම ශබ්ද ඇසීම, රස දැනීම සහ ගන්ධයක් දැනීම ද විස්තර විග්‍රහ කළ හැක.
ඔබගේ දුව හෝ පුතා ඔබ ව අමතන අවස්ථාවක් සලකා බලමු. එවිට එම හඬ පරයමින් අසල නිවසේ ගුවන් විදුලි ශබ්දය ඔබට ඇසෙයි. අනෙක් ශබ්ද අරමුණු නොකර දරුවාගේ හඬ පමණක් තමන් කරා ලබාගැනීමට ඔබට හැකි ද? කන සහ ශබ්දය ගැටෙන්නේ කවර ආකාරයෙන් ද, ඊට අනුරූප ව එම ශබ්දය හඳුනාගැනීම සිද්ධ වේ. එහි ඔබට කළ හැකි කිසිවක් නොවේ. “මම දරුවා ළඟට ගිහින් අහගන්නවා” යනුවෙන් ඔබට සිතෙයි. ඔබට ඒ ආසන්නයට ඇවිදගෙන යාමට හැකියි. හෘද ස්පන්දනය, රුධිර සංසරණය, මොළය සහ ස්නායු පද්ධතිය නිසි ආකාරයෙන් ක්‍රියා කරන්නේ නම්, එලෙස ක්‍රියාත්මක වීමට හැකිය. නමුත් ඒ කිසිවක්, ඔබ කරන දේවල් ද? රුධිරය ස්නායු දක්වා සංසරණය කිරීම ඔබ සිදු කළේ කවදා ද? හෘද ස්පන්දනය පාලනය ඔබ විසින් කරනු ලැබුවේ කවදා ද? ඔබ කෙදිනක හෝ ආහාර ජීර්ණ පද්ධතිය හෝ බහිස්ස්‍රාවීය පද්ධතිය ක්‍රියාත්මක කළේ ද? නැත. හේතු ගැළපීම මත ම ඒ ඒ පද්ධතිය ක්‍රියාත්මක වූවා මිස ඒවා කළ කෙනෙක් කිසි දිනෙක සොයන්නට නොහැක. එසේ නම් කෝ ‘ඔබ?’ ‘ඔබ’ කියලා කියන්නේ ඔය අතට ද? මුහුණට ද? කකුලට ද? නැති නම්, ඔබ ඔය ‘ඔබ’ යනුවෙන් පවසන්නේ සමූහයකට ද? හේතුවලට ද? කොටස් දෙතිසකින් නොහොත් හේතු දෙතිසකින් සැදුම් ලත් රූපයකට ‘ඔබ’ යනුවෙන් පවසන්නේ කෙසේ ද? තවත් උදාහරණ කිහිපයක් ගෙන මෙය තව දුරටත් සනාථ කරගැනීමට උත්සාහ කරමු.
ඇවිදීම, එළවළු කැපීම, අතුගෑම ඔබ විසින් කරන ලද ක්‍රියා ලෙස ඔබට හැඟෙනවා ද? එසේ නම් කුඩා කල දී, අද ඔබ ඇවිදින අයුරින් ඇවිදීමට ඔබට හැකි වූයේ ද? නැත. මන්ද යත්, ඇවිදීමට ඉගෙන ගෙන නොතිබුණ බැවිනි. ඇවිදීමට අදාළ දත්ත, තොරතුරු සහ ඇවිදින ආකාරය යන හේතු කාරණාවන් එක් රැස් වී නොතිබුණු බැවිනි. නමුත් දිනෙන් දින ඊට අවශ්‍ය දත්ත එක් රැස් වී, ඊට අනුව අඩිය දෙක තැබුවේ කවුද? ඔබ ද? විපාක ලෙස ‘ඇවිදීම’ යන අරමුණ සමඟ සිත උදා වෙයි. එම සංඥාව මොළය හරහා අදාළ ආකාරයට මාංශ පේශිවලට ගමන් කරයි. එම සංඥාව ගමන් කරන්නේ දත්ත ගබඩාවේ ඇති දත්ත සමඟයි. දත්ත ලැබුණු ආකාරයට අනුව පාදය තැබීම ඒවාට අනුකූල වේ. මෙය මුළුමනින් ම ක්‍රියාවලියකි, මුළුමනින් ම යාන්ත්‍රණයකි. ඉහත විස්තර වූ කිසිදු තැනක ඔබ සිටියේ ද? එළවළු කැපීම, අතුගෑම හෝ වෙනත් ඕනෑ ම කාර්යයක් වුව ද මෙලෙස ම විග්‍රහ කරගත හැකි වේ. මිදුලේ කොළ වැටී අපිරිසිදු ව තිබෙන බව දැක, ඉදල රැගෙන එය ඇමදූ අවස්ථාවක් සිහිකර බලන්න. එහි දී මිදුල පුරා කොළ වැටී තිබෙන බව දුටු විගස ඔබට සිතෙන්නේ කුමක් ද? “මිදුල හැඩිවෙලා, අතුගාන්න ඕනේ” යනුවෙන් විය හැකිය. ‘මිදුලේ කොළ වැටී ඇතිවිට එය ඉදලකින් අතුගානවා’ යනුවෙන් දැනුමක් තිබේ. සිතේ ඇති එම දැනුමට අනුව මොළය හරහා මාංශ පේශි ක්‍රියාත්මක වේ. අතුගෑම ඔබගේ පාලනයෙන් තොර වූවකි. එය සිද්ධ වන්නකි. නමුත් ඒ සිදුවීම තුළ ‘ඔබ’ කොතනකවත් නොසිටිය බව වැටහී නැහැ නේද? හේතු ගැළපී ඊට අදාළ වූ ක්‍රියාවලිය සිදු වූ බව වටහා ගත් කල, ඔබ එය කර නොමැති බව අවබෝධ වනු ඇත.
ගල්, වැලි, සිමෙන්ති සහ ජලය යන හේතු ගැළපී බැඳුණු තැන ‘බදාම’ යන ඵලය විද්‍යමාන වූවා මිස එහි ‘මැටි’ සෑදුණේ නැත. පොල්, මිරිස්, දෙහි සහ ලුණු යන හේතු ගැළපී බැඳුණු තැන විද්‍යමාන වීම ‘පොල් සම්බෝලය’ වූවා මිස එහි කිරි හොද්ද විද්‍යමාන වූයේ නැත. එසේ නම් අදාළ හේතු ගැළපී බැඳී ඊට අදාළ වූ ඵලය ම විද්‍යමාන වූවා මිස ඒ හේතූන්ගෙන් වෙන් වූ යමක් හෝ යමෙක් කිසි දිනෙක ලෝකයට බිහි වූයේ ද නැත. ඇට ලේ මස් නහර එකතුවෙන් කයක් හැදුණා මිසක එහි ‘ඔබ’ කොහි සිටියෙහි ද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණයන්හි බලපෑමෙන් හිතක් බිහිවූවා මිසක එහි ඔබ කොහි සිටියෙහි ද? එසේ නම්,
“සබ්බසෝ නාමරූපස්මිං
යස්ස නත්ථී මමායිතං...”
යන සුගත තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවෙහි සඳහන් පරිදි නාම රූප ප්‍රත්‍යයෙන් දැන හැඳිනීමේ ක්‍රියාවලිය සිදු වූවා මිසක එහි ‘ඔබ’ කොහි සිටියෙහි ද? ගැළපී බැඳුණු හේතූන්ගෙන් හිතක් බිහිවූවා මිසක ‘ඔබ’ කිසි දිනක ලෝකයට බිහිවූයේ ද නැත. බිහිවන්නේ ද නැත. “කෝ මම?” කියමින් කෙදිනක හෝ බිහි වේවි යැයි බලාපොරොත්තු සහගත සිතින් වෙහෙසීම ද කිසිදු ඵලක් නැත. ඉදින් අරටුව පිණිස කෙසෙල් කඳන් කපමින් වතු සිසාරා ගිය ද කෙදිනක හෝ ඒවායින් අරටු සොයා ගත්තෙකු මෙලොව නොමැත. ගඟට ඉණි කපන්නා සේ හිත් උපදින ක්‍රියාවලියෙහි ‘ඔබ’ ව සෙවීම ද එවන් වූ “අට්ටීයති හරායති ජිගුච්ඡති” වූ සංඛාර වෘතයක් ම වන්නේ ය.
ඉහත උපමා උපමේය සලකා බැලූ කල ඔබට එහි සැඟවුණු කාරණාවක් වටහා ගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇත. එනම් ලෝකයේ යථාර්ථය හේතු ගැළපී බැඳී විද්‍යමානවීම යි. (හේතුං පටිච්ච සම්භූතං) එසේ නම් ඉහත දක්වන ලද මිනිස් වර්ග තුන හිස ලූ ලූ අත දුවමින් හේතුවලින් පැනවිය නොහැකි, නමුත් හිස මුදුනේ තබා රකින්නට සරසන්නට අප්‍රමාණ වෙර දරන ආගිය අතක් නැති ‘ඔබ’ කවුද? ඉදිරි කලාපයන්හි දී අපි තව තවත් ‘ඔබ’ ව සොයමු.